කවුරුවත් බඩගින්නේ තියන්නේ නැහැ

ආහාර අර්බුදය හමුවේ කවුරුවත් බඩගින්නේ තියන්නේ නැහැ - අගමැති

by Staff writer 17-06-2022 | 9:55 PM

COLOMBO (News 1st) - ආහාර අර්බුදය හමුවේ කිසිවෙක් බඩගින්නේ නොතැබීම තමන්ගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, අද (17) පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය. මෙරට ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. ඔහු නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසය. මෙහිදී ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත් ඊට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු ආයතනවල නියෝජිතයින් ද සම්බන්ධ කරන ලෙස අගමැතිවරයා දැනුම් දී තිබේ. ආණ්ඩුවේ පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී සිටියහ.