ආණ්ඩුවට ප්‍රසාදයක් නෑ..

ආණ්ඩුවට රට තුළ ජාතික වශයෙන් ප්‍රසාදයකුත් නෑ අන්තර්ජාතික වශයෙන් විශ්වාසයකුත් නෑ.. - හිටපු ජනපති මෛත්‍රීපාල

by Staff writer 17-06-2022 | 9:52 PM

COLOMBO (News 1st) - වෙන ආණ්ඩුවක් පිහිටවුවොත් මේ ප්‍රශ්නය ඉතාම කෙටි කාලයකින් විසඳන්න පුළුවන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද තිබෙන ආණ්ඩුවට රට තුළ ජාතික වශයෙන් ප්‍රසාදයකුත් නොමැති බවත් ඒ වගේම අන්තර්ජාතික වශයෙන් ආණ්ඩුව ගැන විශ්වාසයක් නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
ආණ්ඩුවේ අය අහන ප්‍රශ්නයක් තමයි හොඳයි හෙට වෙන ආණ්ඩුවක් ආවොත් මේ ප්‍රශ්න විසෙදෙනවද කියලා පැහැදිලිවම මම කියනවා හෙට වෙන ආණ්ඩුවක් අපි කියන විදියට පිහිටවුවොත් මේ ප්‍රශ්නය ඉතාම කෙටි කාලයකින් විසඳන්න පුළුවන් කියලා. මම විද්වතුන් සමග සාකච්ඡා කළා ලංකාවේ ඉන්න විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්ඡා කළා. මේ සෑම කෙනෙක්ම කියන්නේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදලා පහළොවක් පමණ ඇමති මණ්ඩලයක් තෝරා ගෙන මහ මැතිවරණයක් තියන්න කාලයක් නියම කරලා හය මාසයක් හෝ අවුරුද්දක් ඒ කාලසීමාව තුළ ඒ රටවල් උදව් කරන්නම් ඊට පස්සේ ඒ මැතිවරණයකින් හැදෙන අලුත් ආණ්ඩුවකට උදව් කරන්න පුළුවන් කියලා. අද තිබෙන ආණ්ඩුවට රට තුළ ජාතික වශයෙන් ප්‍රසාදයකුත් නැ. ඒවගේම තමයි අන්තර්ජාතික වශයෙන් ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ.
ප්‍රශ්නය,
දැන් ඔබතුමා සාකච්ඡා කරා කිව්වේ මොන මොන රටවල්වලින් ද යෝජනා ආවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ආවොත් මේ රටට උදව් කරන්නම් කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
ජපානයේ තමා එකක් විශේෂයෙන් ඒගොල්ලෝ කියනවා සර්ව පාක්ෂික ආණ්ඩුවට ඒගොල්ලෝ උදව් කරනවා කියලා. අනිත් පැත්තෙන් ගත්තම බටහිර රටවල් ඊළඟට මේ රුසියාව අමෙරිකාව වැනි රටවල්. සර්ව පාක්ෂික ආණ්ඩුව උදව් කරනවා. මම ඒ රාජ්‍යතාන්ත්‍රිකයින් සමග සාකච්ඡා කරලා තිබෙනවා.