පසුගිය 9,10 එන්න තිබුණු තෙල් නැව් 2 කට මොක ද වුණේ?

by Sagarika Chathumali 16-06-2022 | 4:15 PM

COLOMBO (News 1st) – මෙරටට අවශ්‍ය පෙට්‍රල් හා ඩීසල් ආනයනයනය වෙනුවෙන් තවත් සමාගම් දෙකක් සමග ගිවිසුම්ගතවීම සඳහා කැබිනට් අනුකමිටුවේ අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (16) මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඊයේ රාත්‍රී රැස් වූ කැබිනට් අනුකමිටුව ඒ සඳහා අනුමැතිය ලබා දුන් බවයි. මේ වනවිට අදාළ සැපයුම්කරුවන්ගේ තොරතුරු ලැබී ඇති බවත් මහජන බැංකුව හරහා ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමට අපේක්ෂා කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ අනුව දින 3ක් ඇතුළත එක් පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සාහ දරන බව ත් අනෙක් නෞකා 2 ක ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසුව දින 8කින්  ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් ඊට අදාළ  දින වකවානු සනාථ වන්නේ, ණයවර ලිපි නිකුත් වීමෙන් අනතුරුව බව අමාත්‍යවරයා අවධාරණයෙන් යුතුව කියා සිටියේ ය. අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ණයවර ලිපි නිකුත් වීමෙන් පසු අද දවස ඇතුළත  ඊළඟ පෙට්‍රල් හා ඩීසල් නෞකාව මෙරටට ළඟාවන නිශ්තචිත දින පිළිබඳ ප්‍රකාශයට පත් කළ හැකි බවයි. මේ අතර පසුගිය 9,10 වන දා මෙරටට ළඟාවන බවට ප්‍රකාශ කෙරුණු නෞකා දෙක ළඟා නොවීමට හේතුව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ලංකා බැංකුව ණයවර ලිපි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බලාපොරොත්තු වූ එම නෞකා 2 ක මෙරටට ළඟා නොවූ බවත් ඒ හේතුවෙන් පවතින මෙම අර්බුදය නිර්මාණය වූ බවත් ය. තවද ඉන්දීය ණය ක්‍රමය යටතේ අද උදෑසන මෙරටට ළඟා වූ අවසන් නෞකාවෙන් රැගෙන ආ ඩීසල්වල ප්‍රමිති පරීක්ෂාව මේ වනවිට සිදුවන බවත් පරීක්ෂණ වාර්තාවල ගැටලුවක් නොමැති නම්, අද සවස සිට ඉන්ධන ගොඩබෑමේ කටයුතු සිදු කරනු ඇති බව ත් අමාත්‍යවරා කියා සිටියේ ය.