by Staff writer 15-06-2022 | 6:30 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඔස්ට්‍රේලියාව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 2ක ජයක් ලබා ගත්තේය.
මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 300 කි.
ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා පළමු කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාවට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේ ය.
11 වැනි එක්දින අර්ධ ශතකය ද සමගින් දනුෂ්ක ගුණතිලක ලකුණු 55 යි.
3 වැනි එක්දින අර්ධ ශතකය ලැබූ පැතුම් නිස්සංක ලකුණු 56 ක් රැස් කළේ ය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 86ක් රැස් කළේ 4 පහර 8ක් සහ 6 පහරක් ද සමගිනි.
ලකුණු 301 ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 72 කදී බිඳ වැටුණි.
ඩේවිඩ් වෝනර් ලකුණු නොලබා දැවී ගිය අතර නායක ඒරන් ෆින්ච් ලකුණු 44 යි.
ඔස්ට්‍රේලියාවට, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 44කදී ලකුණු 282ක ඉලක්කයක් හිමි වූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීමෙන් අනතුරුවයි.
ස්ටීවන් ස්මිත් ලකුණු 53 කට දැවී ගිය අතර ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 80ක් රැස් කළේ ය.
වනිදු හසරංග කඩුලු 4ක් දවා ගත් අතර සිය මංගල එක් දින තරගයේදීම යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කඩුලු 2යි.
ඔස්ට්‍රේලියාව පන්දුවාර 42යි පන්දු 3කදී කඩුලු 8ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.