අදානි සමාගම කනස්සල්ලෙන්

සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ආන්දෝලනය ගැන අදානි සමාගම කනස්සල්ලෙන්

by Staff Writer . 14-06-2022 | 2:39 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට බලාපොරාත්තු වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව කනස්සල්ලට පත්ව ඇතැයි ඉන්දියාවේ අදානි සමාගම පවසන බව NDTV නාලිකාව වාර්තා කර තිබේ.

ඔවුන් ඒ බව වාර්තා කළේ, අදානි සමූහයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමිනි. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අභිප්‍රාය වන්නේ වටිනා අසල්වැසියෙකුගේ අවශ්‍යතා සපුරාලීම බව අදානි සමූහයේ ප්‍රකාශකයා NDTV සමග ප්‍රකාශ කර තිබේ. ඔහු සඳහන් කර ඇත්තේ, වගකිවයුතු ආයතනයක් ලෙස ජාතීන් දෙක සැමවිටම බෙදාගත් හවුල්කාරිත්වයේ අත්‍යාවශ්‍ය අංගයක් ලෙස දකින බවයි. අදාල බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වනවිට මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව තමන් කනස්සල්ලට පත්ව ඇති බව පවසන අදානි සමාගම එම ගැටලුකාරී තත්ත්වය ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් විසඳා ඇති බව ද සඳහන් කර තිබේ. පසුගිය සිකුරාදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ ඒ වනවිට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වූ එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා කියා සිටියේ, මෙගාවොට් 500 ක පුනර්ජනනීය විදුලි ව්‍යපාතීය අදානි සමාගමට ලබාදෙන්නැයි මෝදි අගමැතිවරයා බලකරන බව ජනාධිපතිවරයා තමන්ට ප්‍රකාශ කළ බවයි. නමුත් පසුව මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත් ෆර්ඩිනැන්ඩු මහතා මානසික ආතතිය මත එවැනි ප්‍රකාශයක් කළ බව ද කියා සිටියේ ය. ජනාධිපතිවරයා ද වහා නිවේදනයක් නිකුත්කරමින් ෆර්ඩිනැන්ඩු මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළේ ය. කෙසේවෙතත් පසුගිය වසරේ නොවැම්බර් 25 වනදා මුදල් අමාත්‍යාංශයේ එවක ලේකම්වරයාට ලිපියක් යවමින් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සඳහන්කර තිබුණේ, ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව අදානි ග්‍රීන් එනර්ජි සමාගමට මෙගාවොට් 500 ක සූර්ය හා සුළං බලශක්ති ව්‍යපෘතියක් මන්නාරමේ සහ පුනරීන් ප්‍රදේශවල ආරම්භ කිරීමට පහසුකම් සලසන්නැයි, ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දුන් බවයි. මේ වනවිට ෆර්ඩිනැන්ඩු මහතා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති නමුත් කෝප් කමිටුවේ කළ ප්‍රකාශය හා නොවැම්බර් 25 වනදා ලිපිය මුල්කරගෙන මතුවූ සංවාදය අවසන්වී නොමැත.