කිසිදු සහල් හිඟයක් එන්නේ නැහැ...

කිසිදු සහල් හිඟයක් එන්නේ නැහැ - වෙළෙඳ ඇමති සහතික වෙයි

by Staff writer 11-06-2022 | 9:22 PM

COLOMBO (News 1st) - ඊයේ (10) සිට ක්‍රියාත්මක වන පරිදි සහල් අලෙවි කළ හැකි උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක බවය. ගැසට් නිවේදනයට අනුව සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 210 කි. නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220 කි. සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 230 කි. කීරිසම්බා කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260 කි. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වුණත් ඇත්තටම වෙළෙඳපොළේ තත්ත්වය කුමක් ද? සහල් මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් පෙන්වා දෙන්නේ, පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බවයි. පාලන මිල ගණන්වලට අලෙවි කිරීමටවත් දේශීය සහල් නොමැති බව වෙළෙඳසැල් හිමියන් පවසයි. මේ අතර වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා පවසන්නේ කිසිදු සහල් හිඟයක් නොමැති බවය.
වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, ආහාර හිඟයක් සහල් හිඟයක් එන්නේ නැහැ මේ රටේ. පහුගිය මහ කන්නයේ වී තව මාස හතරකට තියෙනවා. ඊළඟ යල කන්නයෙන් එන අස්වැන්න තවත් මාස තුනකට තියෙනවා. එතකොට මාස හතකට ඉදිරි මාස හතක් සඳහා අපිට වී තියෙනවා. අවශ්‍ය වුණොත් ඊළඟ මහ කන්නයේ අස්වැන්න එවන්නේ පෙබරවාරි 15 වෙද්දි. එතකොට මාස දෙකකට තුනකට තමයි වී අඩු වෙන්නේ. එතකොට අපිට කාලය ඇති ආනයනය කිරීම් සඳහා යොමු කරන්න.