by Staff Writer . 09-06-2022 | 4:08 PM
COLOMBO (News 1st) – වර්තමානයේ මුහුණ දෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රමාදයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (09) පෙරවරුවේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බවයි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, නවීණ තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂම සේවාවක් සපයමින් ශ්‍රී ලංකා වරාය පිළිබඳ ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරගත යුතු බවයි.
ලොව ප්‍රමුඛ පෙළේ සියලුම නැව් සමාගම් සමග මෙහෙයුම් කරන කොළඹ වරායේ පාලනාධිකාරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය දැඩි වගකීමෙන් කටයුතු කරමින් එය ආරක්ෂා කරගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.
නීති උල්ලංඝණය කොට කෙරෙන ආනයන හේතුවෙන් වරායේ රඳවා ඇති භාණ්ඩ වෙන්දේසියේ දී අක්‍රමිකතා සිදුවන බව මෙහිදී අනාවරණය වී ඇති අතර ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, සතොස, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මගින් එම භාණ්ඩ අලෙවි කිරීමෙන් දූෂණ වැළැක්වීමට මෙන්ම රජයට ආදායමක් ද උපයාගත හැකි බවයි.
විදෙස් රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් වරායේ තරුණ සේවකයන් සඳහා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන පර්යන්තයේ සහ කොළඹ වරාය නැගෙනහිර ජැටියේ ඉදිකිරීම්වල පවතින ගැටලු නිරාකරණය කර නියමිත කාලය තුළ ව්‍යාපෘති අවසන් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.