ඉන්ධන ගේන්න ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක අමතර ණයක්

by Sagarika Chathumali 07-06-2022 | 1:31 PM

COLOMBO (News 1st) – ඉදිරියේදී ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණය ක්‍රමයක් සඳහා අනුමැතිය ලැබී ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, හෙට සිට නැවතත් සාමාන්‍ය පරිදි ඩීසල් සහ පෙට්‍රල් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි. ඒ අනුව ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,000ක් සහ මෙට්‍රික් ටොන් ‍3,500ක් බැගින් හෙට සිට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති. තව ද අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රමුඛතාගත ක්‍රමවේදයක් යටතේ ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි. ඒ අනුව ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට කටයුතු කරන බව ත් ඒ හරහා පෞද්ගලික අංශයේ බස් රථ සියල්ලටම එකී ඩිපෝ හරහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා ද ඒ හරහා ඉන්ධන ලබා දීමට කටයුතු කරනු ඇති. මීට අමතරව ධීවර ක්ෂේත්‍රයේ මෙන්ම හා කෘෂිකර්ම අංශය සඳහා ද හෙට සිට ඩීසල් හා භූමිතෙල් අඛණ්ඩව ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.