ඉදිරි සති තුන ඉතා දුෂ්කරයි.. රට කැඩුණු කොම්පියුටරයක් වගේ - අගමැති

by Janitha Mendis 07-06-2022 | 11:50 AM

? දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කොම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නෑ

? ඉදිරි සති තුන ඉතාමත් දුෂ්කර කාලයක්..

? අරපරෙස්සමෙන් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කරන්න

? තෙල් මිල ඉහළ යෑමේ අවදානමක්?

? රට සතුව ඇත්තේ, සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් පමණයි

? වහාම 2019 වසරේ තිබූ බදු ක්‍රමයට ය යුතුයි.

? තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය සහ ශ්‍රීලංකන් මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රුපියල් ට්‍රිලියනයක් ණයයි.

? මිත්‍ර රටවල් ලබා දුන් වටිනා ව්‍යාපෘති පදනම් විරහිතව නැවතීම ගැන විමර්ශන

? ජනතා සහන සඳහා වන වාර්ෂික මුදල ඩොලර් මිලියන 350, ඩොලර් මිලියන 550 දක්වා ඉහළට

? ගොවි ණය 100% කපා හරිනවා

? ජනතාව ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දෙනවා

? හොරකමින් තොර සමාජයක් හොරුන්ට ඉඩක් නැති රටක් හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීති රීති ඇති කරනවා

COLOMBO (News 1st); ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන ඉතාමත් දුෂ්කර කාල සීමාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්  අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, ගමන්බිමන් හැකි තරම් සීමා කර ගනිමින් සියලු දෙනා හැකිතාක් අරපරෙස්සමෙන් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ යුතු බවත් ඒ අනුව මේ කාල සීමාවේ අනවශ්‍ය ලෙස ඉන්ධන සහ ගෑස් එක් රැස් කර ගැනීමෙන් වළකින ලෙසයි. අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ඉන්ධන සඳහා මසකට ඩොලර් මිලියන 550 ක් පමණ වැය වන බවත් පවතින අර්බුදකාරි තත්ත්වය මත තෙල් මිල ඉහළ යෑමේ අවදානමක් ඇති බවයි.
''මේ වසර අවසානය වෙද්දි 40%කින් පමණ ලෝක තෙල් මිල ඉහළ නැංවෙන බවට සමහරු අනුමාන කරනවා. මේ පසුබිමේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමේ අදහස අපට බැහැර කරන්න බැහැ. කෙසේ හෝ ඉදිරි මාස හය සඳහා ඩොලර් මිලියන 3300 ක් අප ඉන්ධන වෙනුවෙන් සොයා ගත යුතුයි. ගෑස් ගෙන්වා ගැනීමට මාසයකට ඩොලර් මිලියන 40 කට අධික ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. දැනට අපි ගෑස් ගෙන්වා ගැනීම සඳහා බහුපාර්ශවීය ආධාර, දේශීය මුදල් සහ ඉන්දීය ණය යොදා ගන්නවා.ඉදිරි මාස හයේ ගෑස් සඳහා අපට ඩොලර් මිලියන 250 ක මුදලක් අවශ්‍යයි''
රටේ ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම දවසින් දෙකෙන සිදු කළ හැකි දෙයක් නොවන බව පවසන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එය ඉතා අසීරු අභියෝගයක් බවයි.
''මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙන්නේ ප්‍රාතිහාර්යවලින් නොවෙයි. සටන් පාඨවලින් නොවෙයි. මැජික්වලින් නොවෙයි. හැඟීම්වලින් නොවෙයි. බුද්ධිමත්ව සිතා සකස් කරගත් සැලසුම් ක්‍රියාත්මක කරලීම සඳහා වෙහෙසීමෙන් සහ කැපවීමෙන්''
විවිධ කණ්ඩායම් සහ රටවල් ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ සඳහා සැලකිය යුතු සහයෝගයක් අපට ලබා දීම තුළ ඉදිරි මාස 6 සොඛ්‍ය කටයුතු සඳහා අපට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය නොවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඒ වෙනුවෙන් ජාත්‍යන්තරය ලබා දෙන මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය පුද කළේ ය. රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.5 ක් බවත් නමුත් රට සතුව ඇත්තේ, සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.6 ක් පමණක් බවත් අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශයේදී සඳහන් කළේ ය.
''සහල් වගේම අනෙකුත් බෝග ගණනාවකට මේ තත්ත්වය පොදුයි. ඒ නිසා නන්දා මාස කීපයකින් අතර අනිත් බරපතළ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න අපට සිදුවෙනවා. දෛනික ආහාර අවශ්‍යතා යාන්තමින් හෝ සපුරාලීමට පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන්වා ගන්න සිද්ද වෙනවා. ඒ සඳහා මාසයකට වැය වෙන මුදල ඩොලර් මිලියන 150 ක්..''
අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ඉදිරි මාස හයේ රට නොවැටි පවත්වාගත සෑම සඳහා ඩොලර් බිලියන 6 ක මුදලක් සොයා ගැනීම අවශ්‍ය බවයි.
''මේ සියල්ල මැද දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීමට අප සැලසුම් සකස් කළ යුතුයි. ඒ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයි. මහ බැංකු වාර්තා අනුව 2022 වර්ෂයේ අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 3.5 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංඛ්‍යා ලේඛන අනුව තත්ත්වය ඊටත් බැරෑරුම්. ඔවුන්ට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඍණ 6.5 ක් යුක්‍රේන යුද්ධයේ බලපෑම නිසා මුළු ලෝකයේම රටවල දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ලබන වසරේ පහත වැටෙනවා, යළි යථා තත්වයට පත් කර ගත හැක්කේ 2024 වසරේදී බව පුරෝකථනය කර තියෙනවා''
2019 දී  ක්‍රියාත්මක කළ බදු ක්‍රමය අහෝසි කිරීම නිසා රජයට රුපියල් බිලියන 650 ක ආදායමක් අහිමි වූ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, වහාම 2019 වසරේ තිබූ බදු ක්‍රමයට යා යුතු බවයි. පසුගිය කාල‍යේ අසීමිතව මුදල් අච්චු ගැසූ බව සඳහන් කළ අග්‍රාමාත්‍යරවයා පැවසුවේ, 20 20 සිට 2022 මැයි 20 වන දා දක්වා රුපියල් ට්‍රිලියන 2.5 ක මුදලක් මුදා හැර ඇති බවත් වර්තමානයේ අප මුහුණ දෙන තත්ත්වය මත අකමැත්තෙන් වුවත් ඉදිරි කාලය තුළ ත් තවත් රුපියල් ට්‍රිලියනයක පමණ මුදලක් මුදා හැරීමට සිදුවෙන බවත් ය. පවතින කඩා වැටීම් මැද බැංකු සහ මූල්‍ය සමාගම් ආරක්‍ෂා කරගත යුතු බවත් දැනට දැඩි ආර්ථික අර්බුදයන්ට ලක් වී ඇති ක්‍ෂේත්‍ර හඳුනාගෙන ඒවාට ණය සහන කාලයක් ලබා දීමට මහ බැංකුව සැලසුම් සකස් කරමින් සිටින බව ද අග්‍රාමාත්‍ය සඳහන් කළේ ය.
''ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රීලංකන් සමාගම මහජන බැංකුවට සහ ලංකා බැංකුවට රුපියල් ට්‍රිලියනයක් ණයයි'' ''ශ්‍රීලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යෑම සඳහා පසුගිය අවුරුදු 10 තුළ මහජන මුදල් විශාල ප්‍රමාණයත් රජයෙන් ලබා දී තියෙනවා. ඔවුන් රජයේ වෙනත් ආයතනවලට ඩොලර් මිලියන 680 ක් ණයයි. 2020 මාර්තු මාසයෙන් අවසන් වූ මුදල් වර්ෂයේ ශ්‍රීලංකන් සමාගමේ පාඩුව ඩොලර් බිලියන 130 ක් මේ බර නව දුරටත් උහුලන්න අපේ ආර්ථිකයට ශක්තියක් නෑ. ශ්‍රීලංකන් සමාගම පුද්ගලීකරණය කළ යුතු වෙන්නේ මෙන්න මේ නිසයි''
පවතින තත්ත්වය යටතේ විදේශ සම්බන්ධතා ගැන දැඩි අවධානයක් යොමු කළ යුතු අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, යම් යම් වැරදි ක්‍රියා මාර්ග නිසා අපි ලෝකයෙන්ම කොන් වූ රටක් බවට පත්වෙමින් යන බවයි. එම තත්ත්වය ආපසු හැරවීම ලෙහෙසි නොවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, කෙසේ හෝ එය කළ යුතුව ඇති බවයි.
''මම මේ වෙද්දී විදේශීය තානාපතිවරුන් සමග නිරන්තර සාකච්ඡා පවත්වමින් සිටිනවා. එකසත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිතුමා, පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම්තුමිය, සහ බ්‍රිතාන්‍ය අගමැතිතුමා සමග දුරකථන සාකච්ඡා පැවැත්වූවා.එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, එක්සත් ජාතීනන්ගේ සංවර්ධන වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය ආදි ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කළා.මේ රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් බොහෝ දෙනෙක් මේ අසීරු අවස්ථාවේ අපේ රටට සහය දැක්වීමටත් උපකාර කිරීමටත් එකඟත්වය පළ කළා''
ශ්‍රී ලංකාවට ණය සහ ආධාර ලබා දෙන රටවල් අතර ඉන්දියාව, චීනය සහ ජපානය ඉදිරියෙන්ම පසුවන බවත් හිතවත්ව සිටි මෙම රටවල් සමග ඇති සබඳතා දැන් බිඳ වැටී ඇති බැවින් ඒ සබඳතා යළි ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය බව ද අග්‍රාමාත්‍යවරයා  සඳහන් කළේ ය.
''මීට ටික කලකට පෙර චීන මහජන සමුහාණ්ඩුවෙන් ස්වොප් පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම්, පමණයි හැබැයි ණය මුදල ලබා ගන්න කොටත් අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියද්දී අපේ අදාළ බලධාරින් රට රැවටීමේ ණයක් ලබා ගත්තා අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නෑ''
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වූ ජපානය සමග පැවති සබඳතා පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් නිසා පළුඳු වී ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, යම් යම් ව්‍යාපෘති අත්හිටු වීම පිළිබඳව අපේ රට ජපානයට විධිමත් අයුරින් දැනුම් දීමක් හෝ සිදු කර නොමැති බවයි.
''සමහර අවස්ථාවල කිසිඳු හේතු දැක්වීමක්වත් කර නැහැ. ජපානය අපේ රටේ සිදු කළ සමහර ව්‍යාපෘති අතරමග නවතා දමා ඇත්තේ තනි පුද්ගලයෙක් ලබා දුන් වාර්තා අනුවයි. එල් එන් ජී විදුලිබලාගාර දෙකක් අපට ලබා දීමට ජපානය සන ඉන්දියාව එකඟ වී සිටියා. ඒත් විදුලිබල මණ්ඩලය කිසි සාධාරණ හේතුවකින් හා පදනමකින් තොරව ඒ ව්‍යාපෘති දෙකම නවතා දැමිණි. 2019 වන විට ජපානය අපේ රටට ඩොලර් බිලියන 3 ක පමණ වටිනාකම් ඇති ව්‍යාපෘති ලබා දීමට එකඟත්වය පළ කර තිබුණා. කිසිදු යහේතු දැක්වීමකින් තොරව මේ ව්‍යාපෘති සියල්ලම අත්හිටුවා දැම්මා''
අග්‍රාමාත්‍යරවයා පාර්ලිමෙන්තුවේ රාජ්‍ය මූල්‍ය කමිටුවට දැනුම් දුන්නේ,මිත්‍ර රටවල් ලබා දුන් වටිනා ව්‍යාපෘති පදනම් විරහිතව, අහේතුකව නවතා දැමීම පිළිබඳව විමර්ශනය කරන ලෙසයි. ණය වාරික ගණනාවක් මෙම මාසයේ ගෙවීමට ඇති බවත් එම ණය වාරික ගෙවීම් පැහැර නොහරින බව ත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,  ඉදිරියේදී අලුතෙන් ණය ගැනීමට ද සිදු වන බවයි.
''ඒ ණය ගෙවීමේ වගකීමක් අපට රට රටවලින් ලබා ගත් ණය ආපසු ගෙවීමේ සැලසුමකට එළැඹුණු සැණින්, අපේ අවධානය යොමු කළ යුතු වෙන්නේ අපේ රට ලබා ගෙන ඇති පුද්ගලික ණය පිළිබඳවයි. මේ ගැන සොයා බැලීම් උදෙසා අප ජාත්‍යන්තර මූල්‍ය උපදේශන සමාගමක් වන ලිසාර්ඩ් ආයතනයේත් ජාත්‍යන්තර නීති උපදේශන සමාගමක් වූ ක්ලිෆර්ඩ් චාන්ස් සමාගමත් විශේෂඥ උපදෙස් ලබා ගන්නවා''
රටට නව ආර්ථිකයක් නිර්මාණය කරමින් 100 වන නිදහස් සමරුව පවත්වන 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම අරමුණ බව ද අග්‍රාමාත්‍යරවයා සඳහන් කළේ ය.
''දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කොම්පියුටරයක් වගේ වැඩ කරන්නේ නෑ. ඉතින් අපි මුලින්ම කරන ඕන මොකද්ද අපි මේ කොම්පියුටරය යළි සාදා ගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොමිපියුටරය රී සෙට් කිරිම. අතුරු අයවැය මගින් අපි කරන්නේ කොම්පියුටරය රී සෙට් කිරීමයි. ඊට පස්සෙ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරස් එකකට එන්න ඉඩක් නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපහු පණ ගැන්විය යුතුයි. රීසෙට් කළ යුතුයි''
ඒ අනුව ආර්ථීකය ස්ථාවර කිරීම සහ යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමේ පදනම මත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවත් ඉන් රජයේ අනවශ්‍ය වියදම් අපි කපා දමන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අතුරු අයවැය සකස් කරන්නේ, පහත කරුණු පදනම් කර ගෙන බවයි.

1. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් උපරිම ක්‍රියා මාර්ග ගැනීම.

ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමික්ෂණයකින් හෙළිවී තියෙන්නේ, පවුල්වලින් 73% ත් තම තමන්ගේ ආහාර වේල් සහ ආහාර ප්‍රමාණයෙන් කපා හැර දමා ඇති බවයි. ඒ තත්ත්වය වෙනස් කර යම් ආහාර සුරක්ෂිතකා වැඩ සැලැස්ම අනුව හිඟයකින් තොරව ආහාර ලබා දීමට අප ක්‍රියා කරනවා. තුන් වේල කන්නට පුළුවන් තත්ත්වයක් රටේ නිර්මාණය කරනවා.

2 සහනාධාර සීමාව ඉහළ නැංවීම.

ආර්ථිකය බිමටම වැටී ඇති මේ අවස්ථාවේ ජනතාව විවිධ පීඩාවන්ට මුහුණ දෙනවා. අප ඔවුන්ගේ පීඩාව හැකි තරම් ලිහිල් කරන්න පියවර ගතනවා. ආර්ථික ශක්තියක් නැති ජනතාවට විවිධ සහන ලබා දීම උදෙසා දැනට වැය කරන වාර්ෂික මුදල ඩොලර් මිලියන 350ක්. මේ මුදල ඩොලර් මිලියන 550 දක්වා ඉහළ නැංවිමට බලාපොරොත්තු වෙනවා.

3. ගොවි ණය 100%  කපා හැරීම.

කුඩා ඉඩම්වල වී වගාව කරන ගොවි පවුල් ඇති දුෂ්කර තත්ත්වයනට පත් වී ඉන්නා බව අප දන්නවා. හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් ප්‍රමාණක් ඇති වී ගොවීන් ලබා ගත ඇති ගොවි ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා දමනවා

4. ජනතාව තම ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීම

ස්වර්ණ භූමි, මහවැලි ආදි ඔප්පු මගින් ජනතාවට පවරා ඇති රජයේ ඉඩම් සින්නකකරවම ලබා දියමේ වැඩපිළිවෙළක් මීට කලින් අප ආරම්භ කළා. සමහර පළාත් සභා ඒ වැඩි පිළිවෙළට විරුද්ධ වුණා. ඒ නිසා එය සාර්ථක කර ගැනීමට හැකි වුණේ නෑ. දැන් එවැනි විරෝධතාවක් මතු නොවන නිසා අපි ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමට පියවර ගන්නවා

5. නාගරික තට්ටු නිවාස අයිතිය සහනදායී පදනමකින් පදිංචි කරුවන්ට ලබා දීම

නගරාසන්න තට්ටු නිවාස ගණනාවක කුළී පදනම මත ජිවත් වෙන පවුල් ඉන්නවා. නිවෙස් අයිතිය වෙනුවෙන් දීර්ඝ කාලීන කුලී ගෙවන අයත් ඉන්නවා. අපි සහනදායී පදනමක් යටතේ මේ සියලු නිවාසවල අයිතිය පදිංචිකරුවන්ට ලබා දීමට පියවර ගන්නවා. 6. චීනය ඉදිකරන තට්ටු නිවාස ජනතා අයිතියට පත් කිරීම මා කලින් අගමැති ධූරයේ කටයුතු කරන අවස්ථාවේ චීන මහජන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමක් අනුව තට්ටු නිවාස 1888 ක ඔවුන් ත්‍යාගයක් ලෙස අපේ රටට පිරිනමනවා. මේ නිවාස අතරින් 108ක් අපි කලාකරුවන් වෙනුවෙන් වෙන් කර තියෙනවා. මේ සියලු නිවාස කිසි දේශපාලන බලපෑමකින් තොරව සුදුස්සන්ට ලබා දීමට අප කටයුතු කරනවා. මගේ බලාපාරොත්තුව ඒ නිවාස 1888 නොමිලයේ ලබා දීමේ වැඩපිළිවෙළක් සැකසීමටයි. පවතින අනතුර සහ අනතුරේ බරපතළකම තේරුම් ගන්නැයි පැවසූ අග්‍රාමාත්‍යවරයා  සිහිපත් කර සිටියේ, අනතුරුදායක තත්වයකදී අතීතය පැරීමෙන් ඵලක් නොවන බවයි.
''කෙටි කලකට අපි අතීතය අමතක කරමු, රට යළි ඔසවා තැබීමේ වෑයමේදි අපි අනාගතය ගැන පමණක් සිතා කටයුතු කරමු''
අපේක්ෂිත වෙනස තුළ දූෂණයෙන් හා වංචාවෙත් තොර රටක් ගොඩ නැංවීම සඳහා අවධානය යොමුකළ යුතු බව අවධාරණ කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එය අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක් බවයි.
''හොරකමින් තොර සමාජයක් හොරුන්ට ඉඩක් නැති රටක් හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීති රීති ඇති පාලනයක්''
සිය විශේෂ ප්‍රකාශය මගින් අග්‍රාමාත්‍යවරයා  සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ යළි ගොඩ නැංවීමේ ආර්ථික, සමාජ, දේශපාලන සහ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සඳහා සහය ලබා දෙන ලෙසයි.