by Staff Writer . 07-06-2022 | 3:50 PM
COLOMBO (News 1st) – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේ ය.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණු අතර එය ලබන 20 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇති.
හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙස ද නියෝග කෙරිණ.
.
කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද මෙම වාරණ නියෝගය නිකුත් කළා ය.
එම නියෝගයට අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතාව මධ්‍යම කාරක සභාවෙන්, විධායක සභාවෙන්, දිස්ත්‍රික් නායකත්වයෙන්, ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සහ තනතුරුවලින් ඉවත් කිරීම හෝ මොන යම් හෝ තීරණයක් ගැනීම මෙම වාරණය මගින් අත්හිටුවා තිබේ.
මෙම වාරණය නිකුත් කෙරුණේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන,පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සිව් දෙනෙකු විත්තිකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.
තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය තුළ අමාත්‍ය ධූරයක් ලබා ගැනීම පදනම් කරගනිමින් විත්තිකරුවන් විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය පැමිණිල්ලෙන් පවසා තිබේ.
වැඩිදුරටත් ඔහු අධිකරණයට පවසා සිටියේ, මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු මධ්‍යම කාරක සභාවේ තීරණයක් ගත් බවක් හෝ මධ්‍යම කාරක සභාවක් රැස් වූ බවක් තමන් නොදන්නා බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිය තනතුරු ඉවත් කිරීම හෝ තමා සම්බන්ධයෙන් මොන යම් තීරණයක් ගැනීම නීතිය ඉදිරියේ බල රහිත ක්‍රියාවක් බවත්, මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණ ද තමන්ට නිදහසට කාරණා කරුණු කීමට අවස්ථාව ලබා නොදුන් බව ද පැමිණිල්ලෙන් සඳහන් කර තිබේ.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කරමින් ලබන විසි වන දින දක්වා බලපැවැත්වෙන පරිදි වාරණ නියෝග නිකුත් කළේ ය.