මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලික නවතී..

වන අලි රංචුවක් දුම්රියක ගැටීමෙන් වන අලි ⁣දෙදෙනෙකු මරුට: මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලික අත්හිටුවයි..

by Staff writer 04-06-2022 | 6:47 AM

COLOMBO (News 1st) –  හබරණදී වන අලි රංචුවක් දුම්රියක ගැටීමෙන් වන අලි ⁣දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.

අනතුරින් තවත් වන අලියෙකුට තුවාල සිදු ව ඇත. මේ හේතුවෙන් කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාරය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසුවේ , මඩකලපුවේ සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාරයක් ද අවලංගු කළ බවය. හබරණ, 120 කණුව තල්පතකන්ද ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවිය. සීදූව දක්වා තිරිඟු පිටි ප්‍රවාහනය කර, යළිත් චීන වරාය දක්වා ධාවනය වූ දුම්රියක ඊයේ(03) රාත්‍රී මෙම වන අලි ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය. මේ අතර වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ , මියගිය වන අලින්ගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.