යල කන්නයේ වී වගාව අර්බුදයකට

ලබන 15ට පෙර පොහොර නොලැබුණහොත් යල කන්නයේ වී වගාව අසාර්ථකයි - කෘෂිකර්ම අමාත්‍යාංශය

by Staff writer 04-06-2022 | 5:29 PM

COLOMBO (News 1st) - යල කන්නයේ වී වගාව බරපතල අර්බුදයකට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, යල කන්නයට අවශ්‍ය පොහොර තොග මෙතෙක් නොලැබීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවය. ලබන 15 වැනි දාට පෙර පොහොර තොග මෙරටට නොලැබුණහොත් යල කන්නයේ වී වගාව අසාර්ථක වන බව එම නිලධාරියා පෙන්වා දෙයි. ඔහු සඳහන් කළේ, අදාළ කාලසීමාව තුළ පොහොර තොග මෙරටට ලැබුණහොත් දැනට සිදුකර ඇති වගාවෙන් 50% ක සාර්ථක අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවය. එම දින වකවානු ඉක්මවා ගියහොත් යල කන්නය බරපතල අර්බුදයකට ලක්වනු ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. මේ අතර මහ කන්නයේ අස්වනු හානි වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා මෙතෙක් මුදල් ලැබී නොමැති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් අනුමැතිය යටතේ වන්දි ගෙවීම සඳහා අවශ්‍ය රුපියල් බිලියන 15 ක් ඉල්ලා ඇති බවයි. යල කන්නයේ වගා හානි වෙනුවෙන් වන්දි ගෙවීමක් සිදු කරන්නේද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ ය.