by Staff writer 03-06-2022 | 10:00 PM
COLOMBO (News 1st) - මැයි 9 වැනි දා සහ ඉන් අනතුරුව ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතු ස්වාධීන හා අපක්ෂපාතීව සිදු කරන්නැයි පොලීසියට උපදෙස් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීතිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
නීතිපති සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, පොලිස් විමර්ශනයක් ස්වාධීනව, අපක්ෂපාතී මෙන්ම , අනීතික මැදිහත්වීම්වලින් තොරව සිදු කිරීමේ අවශ්‍යතාව තමන් අවධාරණය කළ යුතු නොමැති බවය.
නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පක්ෂපාතී අයුරින් කටයුතු කරන බවට චෝදනා එල්ල වීම රටේ නීතිය හා සාමය නරක අතට හැරීමට සහ මහජන විශ්වාසය බරපතල ලෙස අහිමි වීමට හේතුවනු ඇතැයි අදාල ලිපියේ දැක්වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පහත දැක්වෙන කරුණු කෙරෙහි ද අවධානය යොමු කර තිබේ.
* සැකකරුවන් අපරාධය සිදු වූ අවස්ථාවේදී නොව එම අවස්ථාවේ වෙනත් ස්ථානයක සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම
* විශ්වාසාදායක සාක්ෂිවලින් තොරව, දේශපාලනඥයින් වැනි පාර්ශව ලබාදුන් ලැයිස්තුවකට අනුව අත්අඩංගුවට ගැනීම් සිදුවීම.
* 2022 වසරේ මැයි හා මාර්තු අතර ආණ්ඩුවට එරෙහි සාමකාමී විරෝධතාවන්ට සහභාගී වීමේ පදනම මත පමණක් අත්අඩංගුවට ගැනීම.
* හඳුනා ගැනීමේ පෙරට්ටුවලට පෙර සැකකරුවන්ගේ ඡායාරූප ගැනීම හා එම පෙරට්ටුවලට පෙර එම ඡායාරූප සාක්ෂිකරුවන් වෙත පෙන්වනු ඇති බවට සැක පළ වීම.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට යැවූ ලිපියෙන් අවධාරණය කරන්නේ ස්වාධීන සහ අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙසය.