මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ හා තිරුකුමාර් නිදොස් කොට නිදහස්

by Staff Writer . 03-06-2022 | 12:22 PM

COLOMBO (News 1st) – මල්වානේ සුඛෝපභෝගී මන්දිරය පිළිබඳ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් යන මහත්වරුන් ගම්පහ මහාධිකරණය විසින් අද (03) නිදොස් කොට නිදහස් කරනු ලැබිණි.

බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා නඩුවට පෙනී සිටීම සඳහා අද ගම්පහ මහාධිකරණයට පැමිණියේ ය. එහිදී අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඔහුගේ රථපෙළ නවතා යාම පිළිබඳව නීතිඥවරුන්ගේ විරෝධය ද පළ විය. නීතිඥවරුන්ගේ විරෝධය හමුවේ පසුව එම වාහන අධිකරණ සංකීර්ණය ඉදිරිපිටින් ඉවත් කර තිබේ. දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16 ක ඉඩමක් මිලට ගෙන එහි සුඛෝපභෝගී මන්දිරයක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන මහත්වරුන්ට එරෙහිව අධිචෝදනා 03ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි. ඉකුත් මාර්තු මස 25 වැනි දා මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන එම මන්දිරය ඉදි කළ කොන්ත්‍රාත්කරු වූ උපුල් කුමාර රාමවික්‍රම මහතා කියා සිටියේ, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට තමා පැමිණිල්ලක් කර නොමැති බවයි. තමන් කළ බව කියන ප්‍රකාශයේ සඳහන් අත්සන ද පිළිගත නොහැකි බව සාක්ෂිකරු පැවසුවේ ය. නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් සනිල් කුලරත්න මහතා පසුව මහාධිකරණයට දැනුම් දුන්නේ, එම සාක්ෂිය අනුව බැසිල් රාජපක්ෂ හා තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන්ට විරුද්ධව ඇති නඩුවේ සාක්ෂි විමසීමක් ඉදිරියට සිදු නොකරන බවයි. ඒ අනුව, නඩුව අවසන් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ ය. ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධිචෝදනා පැමිණිල්ල විසින් සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත් වීම නිසා නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීන්දු කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විත්තිකරුවන් දෙදෙනා චෝදනා තුනෙන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කර තිබේ.