ගංවතුරින් පීඩාවට පත්වූවන්ට සහන දෙන්න -අගමැති

ගංවතුරින් පීඩාවට පත් පිරිසට සහන දෙන්න අගමැතිගෙන් උපදෙස්

by Staff Writer . 01-06-2022 | 12:43 PM

COLOMBO (News 1st) –ගංවතුරින් පීඩාවට පත්වූවන්ට සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ , අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා  කළුතර , ගම්පහ , ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරු සමග  සාකච්ඡාවක් පවත්වා ඇති බවයි. එහිදී ඔහු පවසා ඇත්තේ මහා භාණ්ඩාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ  පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල්   වෙන්කර ඇති බවයි. මේ අතර පවතින වර්ෂාවත් සමග අත්තනගලු ඔය , කළු, කැලණි, නිල්වලා හා ගිංගග දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් සිටින්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 830 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමිටර් 130. 4 වාර්තා වී ඇත්තේ, වරකාපොල ප්‍රදේශයෙනි. මේ අතර බස්නාහිර , සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතෙත් , කළුතර , නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි වේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර රත්නපුර , කෑගල්ල, ගාල්ල , මාතර , කොළඹ , මහනුවර , නුවරඑළිය , කළුතර දිස්ත්‍රික්වල ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.