දුමින්දගේ ජනාධිපති සමාව අත්හිටුවයි

මරණ දඬුවම නියමව සිටි දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

by Staff Writer . 31-05-2022 | 4:30 PM

COLOMBO (News 1st) -  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, දුමින්ද සිල්වා මහතා යළි සිර භාරයට ගන්නා ලෙසය. මෙම නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වෙත නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අවශ්‍ය උපදෙස් හා සහය ලබා දෙන ලෙස ද නීතිපතිවරයාට නියම කළේ ය. දුමින්ද සිල්වා මහතාට විදෙස් ගමන් තහනමක් ද පැනවූයේ ය. දුමින්ද සිල්වා මහතාට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇයගේ මව සුමනා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කළේ ය. පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 01 වැනිදා පැවැත්වීමට ද දින නියම කළේ ය.