ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න

ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදා වගා කිරීමට මැදිහත්වන්න.. ජනපති නිලධාරීන්ට කියයි

by Sagarika Chathumali 30-05-2022 | 4:13 PM

?ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න

?ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුයි

?ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතුවලට ඉඩ

?වගා නොකළ ඉඩම් තරුණ වගාකරුවන්ට ලබා දීම

COLOMBO (News 1st):  ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ, පොහොර අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රටවල් කිහිපයක් සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් පොහොර හිඟය හෝ වෙන යම් හේතුවක් පාදක කරගනිමින් යල කන්නයේ වගාව අත නොහරින ලෙසයි. යල කන්නයේ වගා කටයුතු සහ ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟය අවම කර ගැනීම පිළිබඳ අද (30) කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, පොහොර ගෙන්වීම, බෙදාහැරීම්, නිසි කළමනාකරණය, දැනුවත් කිරීම, ගොවීන් සහ නිලධාරීන් අතර සම්බන්ධීකරණය සඳහා ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් විය යුතුව ඇති බවයි. ගොවියාගේ කැමැත්ත පරිදි රසායනික හෝ කාබනික පොහොර යොදාගනිමින් වගා කටයුතු සිදු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීම ලබාදිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත. යල කන්නයේ වගාව සඳහා යොදා නොගත් කුඹුරු හඳුනා ගෙන මුං, කව්පි, සෝයා ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගාවට උනන්දු කරවීමෙන් ගොවීන්ට ඉහළ ආදායමක් උපයා ගැනීමට අවස්ථාව ලබාදිය හැකි බව ද එහිදී ප්‍රකාශවී තිබේ. කන්දකාඩු ගොවිපොළ බඩ ඉරිඟු, සෝයා ඇතුළු භෝග වගාවට කඩිනමින් නිදහස් කර දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර වගා කර නොමැති ඉඩම් හඳුනාගෙන තරුණ වගාකරුවන්ට ලබා දීමට ද මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය වී ඇත. ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, පොහොර අවශ්‍යතාව ඉලක්ක කර ගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ප්‍රශස්ත අයුරින් යොදා ගනිමින් එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොස්පරස් අඩංගු පොහොර නිෂ්පාදනය කරන ලෙසයි. මෙම සාකච්ඡාවට එක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ, ගෙවතු සහ රජයේ කාර්යාල පිහිටි ඉඩම්වල වගා කටයුතු දිරිමත් කළ යුතු බවත් ඊට ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නායකයින්ගේ සිට සියලුම රාජ්‍ය සේවකයින් දායක වී පූර්වාදර්ශයක් සැපයිය යුතු බවයි. වගා කළ යුතු භෝග හඳුනා ගනිමින් සියලු පළාත් ඒකාබද්ධ වගා ප්‍රවර්ධන සතියක් ඇරඹීමටත් කෘෂිකර්ම, පශු සම්පත් හා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා පළාත් සභාවට වෙන් කර ඇති මුදල් සීමා නොකොට ලබාදීමටත් මෙහිදී තීරණය වී තිබේ. කිරි, බිත්තර, කුකුළු මස් මිල පාලනය සඳහා සත්ත්ව ආහාර සැපයීමට ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටි ඇත.