රටවල් 7 කින් පොහොර ඉල්ලයි

by Staff Writer . 29-05-2022 | 9:20 PM

COLOMBO (News 1st): ආහාර ගැටලුව විසඳීම සඳහා නව පියවර රැසක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ, දීර්ඝ කාලයක් වගා නොකළ කුඹුරු ඉඩම් පවරගෙන වගා කළ හැකි පුද්ගලයින්ට එම අවස්ථාව ලබාදීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
''කැබිනට් මණ්ඩලයට මම යෝජනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා දීර්ඝ කාලයක් වගා කරන්නේ නැති කුඹුරු ඉඩම් තියනව නම් ඒවා පවරගෙන වගා කරන්න පුළුවන් අයට ඒ අවස්ථාව ලබා දෙන්න කියන යෝජනාව ඉදිරිපත් කරන්න.එම නිසා සෑම කෙනෙක්ම කුඹුරට බහින්න වගා කරන්න''
මීට අමතරව ශ්‍රී ලංකාවට පොහොර ලබා දෙන ලෙස රටවල් 7 ක තානාපතිවරුන්ට ලිඛිතව ඉල්ලීමක් කළ බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි. ඉන්දියාවෙන් ලැබීමට නියමිත පොහොර මෙට්‍රික් ටොන් හැටපන්දහස කඩිනමින්ම ලබා ගැනීම සඳහා සාකච්ඡා කළ බවත් ඊට අමතරව රුසියාවෙන් මෙන්ම යුක්‍රේනය යන දෙරටින්ම තෙල්, පොහොර, ගෑස් ආදිය ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමට බලාපොරොත්තු වන බවයි.