අටලුගම දැරිය‌ට ඇත්තටම සිදුවුණේ කුමක්ද?

අටලුගම දැරිය‌ගේ මරණය ගැන විමර්ශනයට පොලිස් කණ්ඩායම් 4ක්

by Staff Writer . 29-05-2022 | 9:17 AM

COLOMBO (News 1st) - බණ්ඩාරගම, අටලුගම දැරියගේ මරණය සම්බන්යෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායමක් යොමු කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, පොලිස් විමර්ශනවලට සහය වීම සඳහා එම කණ්ඩායම ක්‍රියාත්මක බවය. මේ අතර බණ්ඩාරගම අටලුගම දැරියගේ මරණය සම්බන්යෙන් විමර්ශනයට පොලිස් කණ්ඩායම් 04ක් අනියුක්ත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය . පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. කෙසේ වෙතත් දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ඇයගේ මෘත දේහය මේ වනවිට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) දිනයේ සිදු කිරීමට නියමිතය. පෙරේදා උදෑසන සිට අතුරුදන්ව සිටි මෙම 9 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගනු ලැබුවේ ඊයේ (28) පස්වරුවේ ඇයගේ නිවස ආසන්න වගුරු බිමකදීය. අයීෂා ෆාතිමා නැමති එම දියණිය දරුවන් හතර දෙනෙකුගෙන් සමන්විත පවුලේ තුන්වැනි දරුවායි. ඇය අටලුගම, අල්ගස්සාලි මහා විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලැබු සිසුවියකි. නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට ගිය දැරිය පෙරේදා පෙරවරුවේ සිට අතුරුදන්ව සිටියේය.