පොහොර ප්‍රශ්නයට අලුත් ඇමතිත් නිරුත්තරයි

"වී මිල විශාල වශයෙන් ඉස්සරහට යයි... නොහිතන මිලකට වී විකුණන්න වෙන්නේ හාල් කන්න වෙන්නෙත් ඒ ගාණට..." - මහින්ද අමරවීර

by Staff writer 28-05-2022 | 9:48 PM

COLOMBO (News 1st) - පිටරටින් සහල් ආධාර ලෙස ලැබෙද්දී, අපේ ගොවියාට රටට සහල් සපයන්න අද බැරිව තිබේ.

එක රැයකින් පැන වූ රසායනික පොහොර තහනම නිසා අද වනවිට ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත් කර අවසන්ය. කාබනික වගාව හුරුකරන්න හැදුවත් අද ගොවියාට පොහොර ඇටයක්වත් නැති තැනට රට පත් වී ඇත. ගොවීන්ට මේ කන්නයේවත් පොහොර ලැබෙයි ද? එසේනම් කවදා ද? වැඩපිළිවෙළ කුමක් ද? කෘෂිකර්ම ඇමතිවරයා අද අඟුණකොළපැලැස්සේදී දුන්නේ මෙවැනි පිළිතුරකි. කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර,
දැන් මේ අමාත්‍යාංශයට මම යනකොට මමත් ඇත්තටම හිතුවේ පොහොර මෙට්‍ර්ක් ටොන් 65,000ක් ඇවිල්ලා. දැන් බෙදලා දෙන්න තමයි තියෙන්නේ. එහෙම තමයි කට්ටියගේ අදහස තිබුණේ. මේ වෙනකම් කිසිම එහෙම පෝර එක හොන්ඩරයක්වත් ආණ්ඩුව ගානේ ඇවිල්ලා නෑ. නැවකට පටවලත් නැහැ. ලෝකෙ කිසිම රටක් පෝර පිටරටකට දෙන්නෙ නෑ. අද උදේ ලැබුණු තොරතුරු අනුව අගමැතිතුමා අපේ රටට උදව් කරන්න ඉන්දියාවෙන් මෝදි අගමැතිතුමා හොඳ මානසිකත්වයෙන් ඉන්නවා කියන එක තමයි මට වාර්තා වෙලා තියෙන්නේ. අපිට මේ පෝර ටික ලැබෙයි කියන විශ්වාසයක් යම් විශ්වාසයක් තියෙනවා. දැන් ඇත්තටම කිව්වොත් යල කන්නය ගැන මහන්සි වීමෙන් ප්‍රතිඵල අපට ලබා ගන්න අමාරුයි. ඇත්ත කතාව අපි රට කියන්න ඕනේ බැනුම් අහන්න හරි කියන්න වෙනවා. වැටිච්ච තැන ඉඳලා උඩට යන්න තියන්නේ. දැන් තව මාස දෙක තුනකින් තව වැටෙනවා එතන ඉඳලා උඩටනේ තියෙන්නේ. වැටුණට පස්සේ තවත් වැටෙන්නට තැනෙක් නෑනේ. එතකොට එක වේල දෙවේල කාලා ඉන්නකොට. ඊළඟට ඕකට පුරුදු වෙලා අර කොරියාවේ, ජපානයේ, චීනයේ කට්ටිය කියන්නේ බල්ලෝ කෑවා, සර්පයෝ කෑවා. හැමදේම කනවා කියලා කියන්නේ. ඒත් ඔය අර්බුද ඇති වෙච්ච වෙලාවක්. හැම කෙනෙක් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. නැත්තම් අපිට මේ තත්ත්වය කරන්න බැ. වී මිල විශාල වශයෙන් ඉස්සරහට යයි. මට කියන්න බෑ. කිව්වොත් ඒක වැරදි වෙනවා. මං හිතන නොහිතන මිලකට තමයි වී විකුණන්න වෙන්නේ හාල් කන්න වෙන්නෙත් ඒ ගාණට.
කෘෂිකර්ම අමාත්‍යවරයා එසේ පැවසුවත් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසන්නේ, උතුරු පළාතේ ගොවීන්ට යල කන්නයට අවශ්‍ය පොහොර කන්කසන්තුරේ වරාය හරහා ගෙන ඒමට ඉන්දියාව සමග සාකච්ඡා කර ඇති බවයි. ඒ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දුරකතනයෙන් ඇමතූ අවස්ථාවේදීය. අමාත්‍යවරයාගේ ඉල්ලීමට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාර්ථක ප්‍රතිචාරයක් පළ කර ඇති බව ද සඳහන් වේ.