වෙඩි තැබීම ගැන සොයන්න CIDය රඹුක්කනට

කෑගල්ල හිටපු SSP කීර්තිරත්නත් රැගෙන වෙඩි තැබීම ගැන සොයන්න CIDය රඹුක්කනට

by Staff writer 28-05-2022 | 9:55 PM

COLOMBO (News 1st) - අප්‍රේල් මස 19 දින රඹුක්කනදී සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අදත් වැඩිදුර පරීක්ෂණ පැවැත්විය.

රඹුක්කනදී, ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ නොසන්සුන්තාවකදී පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු එදින මිය ගියේ ය. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් අද(28) වෙඩි තැබීම් සිදු වූ බව පැවසෙන ස්ථානය පරීක්ෂා කළහ. වෙඩි තැබීමට නියෝග කිරීමේ චෝදනා මත අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. කීර්තිරත්න මහතා ද මෙම ස්ථානයට අද රැගෙනවිත් තිබුණි. මේ අතර වෙඩි තැබීම සිදු කළ බව පැවසෙන පොලිස් නිලධාරීන් තිදෙනා ද රැගෙනවිත් තිබුණි. සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව එක් එක් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගත්තේ වෙන් වෙන් වශයෙනි. ඔවුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරින් ද යොදවා තිබුණි. මෙම පරීක්ෂණ මෙහෙය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙනි.