කච්චතිව් දූපත අපට අහිමි වෙයි ද?

ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුවට මැදිවූ කච්චතිව් දූපත අපට අහිමි වෙයි ද?

by Staff writer 28-05-2022 | 9:44 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය සමනය කර ගැනීම සඳහා ඉන්දීයාව ආධාර හා ණය පහසුකම් යටතේ සැපයුම් ලබා දෙමින් සිටී.

අද ඉන්දියානු ආධාර යටතේ ලැබුණු භූමිතෙල් තොගයක් උතුරේ දූපත්වල සිටින ධීවර ජනතාවට ලබාදුන්නේ ද ඒ අනුවයි. මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නඩරාජ් යන මහත්වරුන් එක්ව සිටියහ. උතුරේ ධීවරයින්ට ඉන්දියානු ආධාර යටතේ මෙලෙස පහසුකම් සලසන්නේ ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුවට මැදිවූ කච්චතිව් දූපත ගැන සංවාදයක් මතුව ඇති පසුබිමකදීය. පසුගිය 26 වැනි දා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාර්ලින් මහතා, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගීවූ උත්සවයකදී කච්චතිව් දූපත තමිල්නාඩු ධීවරයින්ට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කළේ ය. මේ ගැන උතුරේ ධීවරයින් දැක්වූයේ මෙවැනි අදහසකි. උතුරු ධීවර සංගමයේ හිටපු නායක එම්. වී . සුබ්‍රමනියම් මහතා,
ගහෙන් වැටුණු මිනිහට ගෙනා අනිනවා වගේ ලංකාව ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙලා ඉද්දි අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කච්චතිව් දූපත අත්පත් කර ගැනීමට උත්සාහ දරණවනම් ඒක ලැජ්ජා සහගත දෙයක්. හාල් දීලා එහෙම නැත්නම් භූමිතෙල් දීලා ඒ තුළින් දේශපාලනය කරන්න උත්සාහ දැරීම අප තරයේ හෙළා දකිනවා. අපි තමිල්නාඩු මහ ඇමතිතුමාට කියනවා කච්චතිව් නෙමෙයි ඉන්දු ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න ඉදිරිපත් වෙන්න කියලා.