ඉන්දියාවෙන් ඖෂධ පරිත්‍යාගයක්

ඉන්දියාවෙන් මෙරටට ඖෂධ පරිත්‍යාගයක්: ධීවරයින්ට භූමිතෙල් තොගයකුත් ලබා දෙයි

by Staff writer 28-05-2022 | 2:43 PM

COLOMBO (News 1st) – ඉන්දීය රජය පරිත්‍යාග කළ තවත් ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් මෙරටට ලැබී තිබේ.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, එම ඖෂධ හා වෛද්‍ය සැපයුම් තොගය මෙරට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාර දුන් බවය. ටොන් 25 කට අධික බරකින් යුත් මෙම ආධාර තොගයේ වටිනාකම රුපියල් මිලියන 260කට ආසන්න වේ. අදාල මානුෂීය ආධාර තොගය කඩිනමින් මෙරටට භාර දීමට රැගෙන ආවේ ඉන්දියානු නාවික හමුදාවේ 'ඝාරියල්' නෞකාවෙනි. එම වෛද්‍ය සැපයුම්වලට අමතරව ශ්‍රී ලාංකික ධීවරයන්ගේ පරිහරණය සඳහා භූමිතෙල් තොගයක් ද මෙම නෞකාවෙන් රැගෙන ආ බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ය. ලංකා ධීවර වරාය සංස්ථාව විසින් ඉදිරි දිනවලදී මෙම භූමිතෙල් තොගය ධීවරයින්ට බෙදාදීමට නියමය. ඉන්දියාව විසින් මෙම වෛද්‍ය සැපයුම් තොගය පරිත්‍යාග කරන ලද්දේ දිවයිනේ විවිධ සංවිධාන සහ රෝහල් විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙනි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පසුගිය මාර්තු මාසයේදී මෙරට කළ සංචාරය අතරතුරදී සුවසැරිය පදනමේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් රටේ වෛද්‍ය ‍ ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාවයන් පෙන්වා දෙන දුන් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය. හම්බන්තොට මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ යාපනය ශික්ෂණ රෝහල වෙත ද මෙම වෛද්‍ය ආධාර තොගය ලබා දෙනු ඇති. මේ අතර ඉන්දියානු ආධාර ලෙස මෙරටට ලැබුන සහල් තොග අඩු ආදායම් ලාභී පවුල් අතර බෙදාදීම මේ වන විට ආරම්භවී තිබේ.