මේ ජයග්‍රහණය සියලුම ලාංකීකයින් වෙනුවෙන් කැප කරනවා

මම කැමතියි මේ ජයග්‍රහණය සියලුම ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කැප කරන්න - දිමුත් කරුණාරත්න

by Staff writer 27-05-2022 | 7:58 PM
"මම කැමතියි මෙම ජයග්‍රහණය සියලුම ශ්‍රී ලාංකීකයින් වෙනුවෙන් කැප කරන්න. අපි ඉතාමත් අසීරු කාලයක් ගත කරන්නේ ශ්‍රී ලංකාවේ. මම හිතනවා මෙම ජයග්‍රහණය ඔවුන්ගේ මුවගට සිනහවක් ගෙන දෙයි කියලා"
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මෙම අදහස් පළ කළේ, බංග්ලාදේශය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි. බංග්ලාදේශය සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේය. ඒ, දෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කරමිනි. මීර්පූර්හීදී පැවැති මෙම තරගයේ බංග්ලාදේශය පළමු ඉනිමට ලකුණු 365 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 506 ක් ලබා ගත්තේය. බංග්ලාදේශය දෙවැනි ඉනිම ලකුණු 169 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ඒ අනුව, ලකුණු 29 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී තරගයේ ජය තහවුරු කර ගත්තේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය.