දුම්රිය මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

දුම්රිය මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට.. ගමන්වාර / මැදිරි කඩිනමින් වැඩි කෙරේ

by Staff Writer . 27-05-2022 | 10:14 AM

COLOMBO (News 1st) – අමතර දුම්රිය ගමන්වාර සහ දුම්රිය මැදිරි සංඛ්‍යාව කඩිනමින් වැඩි කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පැවසුවේ, නුවර - ගාල්ල දක්වා නව අන්තර් නගර දුම්රිය ගමන් වාර ආරම්භ කරන බවත් ඊට අමතරව අනෙකුත් ගමනාන්ත කරා යන දුම්රියවල ධාරිතාව වැඩි කිරීමට හෝ නව දුම්රිය හඳුන්වා දීමට ද කටයුතු කරන බවයි. බස් ගාස්තු ඉහළ යාමත් සමග දුම්රියෙන් ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ එම පියවර ගැනෙනු ඇති. ඒ සඳහා අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබුණු බව ද සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේ ය. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දෛනිකව දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 15 ක පමණ පාඩුවක් ලබන බව ත් ඒ අනුව වියදම පියවා ගැනීමේ ගැටලුවක් මතුව ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''දුම්රිය දෙපාර්තමේන්තුවෙ දිනකට ඉන්ධන සඳහා රුපියල් මිලියන 30ක් වැය කරනවා. මේ වනවිට රුපියල් මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව අපට ලැබෙනවා. මගීන්ගෙන්. එතන මිලියන 15ක පමණ වෙනසක් තියෙනවා ආදයම හා වියදම අතර ඉන්ධන සඳහා පමණක් .ඊට හේතුව දුම්රියෙ ගමන් කරන මගියෙකුගෙන් දෙපාර්තමේන්තුව අය කරන්නේ, බස් ගාස්තුවෙන් 20% ත් 25 ත් අතර ප්‍රමාණයක්''