කඩිනමින් මිත්‍ර රාජ්‍යවල සහය අවශ්‍යයි - ජනපති

ශ්‍රී ලංකාවට කඩිනමින් මිත්‍ර රාජ්‍යවල සහය අවශ්‍යයි - ජනපති

by Sagarika Chathumali 26-05-2022 | 3:18 PM

COLOMBO (News 1st) :  අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර සැපයුම් සහ ඉන්ධන ආනයනය වැනි අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට මිත්‍ර රාජ්‍යවල සහය කඩිනමින් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 27 වන ජාත්‍යන්තර සමුළුව” (Nikkei) අද (26) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළ බවයි. මේ අතර මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහය සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා සමුළුවට එක්ව සිටින සියලු මිත්‍ර රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ. මේ අතර ජපානයෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මේ වන විට පැවැත්වෙන සාකච්ඡා කඩිනමින් අවසන් වනු ඇතැයි, බලාපොරොත්තු පළ කර ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ස්ථාවරභාවය සඳහා දරන උත්සාහයට ජපානයේ සහය හිමිවනු ඇතැයි ද විශ්වාසය පළ කර ඇත. ජනාධිපතිවරයා සමුළුව අමතමින් පෙන්වා දී ඇත්තේ, වත්මන් ජාතික අර්බුදයට විසඳුම් එම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන්ම ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බවයි. ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය අඩපණ වීම, විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල පහත වැටීම, දරුණු මූල්‍ය අර්බුදයක් ඇතිවීම සහ ශ්‍රී ලංකාවේ ඉහළ ණයබර සමග ඒකාබද්ධ වූ අනෙකුත් සිදුවීම් හේතුවෙන් උද්ධමනය සිදු වූ බවයි. නව අග්‍රාමාත්‍යවරයෙකු සහ අමාත්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව මේ වන විට පත්කරගෙන සිටින අතර, ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ද ජනාධිපතිවරයා සමුළුව අමතමින් පවසා තිබේ. 1995 වසරේ සිට ජපානයේ 'නික්කෙයි' (Nikkei) පුවත්පත වාර්ෂිකව සමුළුව සංවිධාන කරන අතර දෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවේ මෙවර තේමාව 'බෙදීගිය ලෝකයක ආසියාවේ භූමිකාව නැවත අර්ථ දැක්වීම' යන්නයි. මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්‍රි යාකොබ්, කාම්බෝජ අගමැති හන් සෙන්, සිංගප්පූරු අගමැති ලී සියෙන් ලුං, තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා, ලාඕස ජනාධිපති තොන්ග්ලුන් සිසොලිත්, බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා, ඉන්දීය විදේශ ඇමති සුබ්‍රමනියම් ජයිශංකර්, මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති කෙවින් රඩ් යන මහත්ම මහත්මීහු, විද්වත්හු සහ ප්‍රවීණයින් ද සමුළුව අමතනු ඇති.