රිමාන්ඩ් භාරයේ සිටින සනත්, මිලාන් හා ඩෑන් අධිකරණයට

රිමාන්ඩ් භාරයේ සිටින සනත්, මිලාන් හා ඩෑන් අධිකරණයට

by Staff Writer . 25-05-2022 | 3:09 PM

COLOMBO (News 1st) – මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම සාමාකාමී විරෝධතා දෙකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා ඩෑන් ප්‍රියසාද් යන සැකකරුවන් අධිකරණයට ගෙන ආ අවස්ථාවේදී පිටත රැඳී සිටි දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

සැකකරුවන් අධිකරණයට ගෙන ඒමෙන් පසු ගෝඨාගෝ ගම අරගල භූමියේ සිටි නිර්පාක්ෂික අරගලකරුවන් පිරිසක් අධිකරණයට පිවිසෙන මාර්ගය දෙපස විරෝධතාවක නිරත වූහ. පිටතින් පැමිණි තවත් පිරිසක් මෙම විරෝධතාකරුවන් හා බහින්බස්වීමක නිරත විය. අනතුරුව අධිකරණ නිලධාරියෙක් පැමිණ සඳහන් කළේ, ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට කැඳවා ඇති බවයි. කෙසේ වෙතත් එහි සිටි සියලු දෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට පැමිණි අය නොවන වග දැන ගැනීමෙන් පසුව නැවත උණුසුම් තත්ත්වයක් ඇති විය. අනතුරුව පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කර තිබේ. කෙසේ වෙතත් මිලාන් ජයතිලක, සහ සනත් නිශාන්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සෙසු සැකකරුවන් විවෘත අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්ගෙන් සැකකරුවන් 08 දෙනෙක් අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරේ.