පහත්බිම්වල ජනතාව අවධානයෙන් සිටින්නැයි උපදෙස්

පළාත් රැසකට වැසි: පහත්බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවීම්..

by Staff writer 25-05-2022 | 7:27 AM

COLOMBO (News 1st) - කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඒ අනුව කුඩා ගඟ දෙපස පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාවට මෙන්ම ඒ ආශ්‍රිත මාර්ගවල වාහන ධාවනය කරන්නන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසය. ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල - මෝල්කාව පාර, වරකාගොඩ - කලවැල්ලාව පාර, නාලියද්ද - දඹල පාර සහ එම ප්‍රදේශයේ පටු මාර්ගවල ඇතැම් ස්ථාන ඉදිරි පැය කිහිපය තුළ ජලයෙන් යටවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.