කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35ට ඇප

නවක වදයට එරෙහි වූ සිසුවෙකුට පහරදීම: කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතන සිසුන් 35කට ඇප

by Staff writer 25-05-2022 | 7:20 AM

COLOMBO (News 1st) - නවක වදයට විරුද්ධ වූ සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ පළමු වසරේ සිසුන් 35 දෙනා ශරීර ඇප මත මුදා හැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මතයි. කිසිදු හේතුවක් මත වින්දිතයින්ට තර්ජනය නොකරන ලෙස නියෝග කළ අධිකරණය එසේ වුවහොත් සැකකරුවන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන බව ද එහිදී පැවසුවේ ය. නවකවදයට විරුද්ධ වීම හේතුවෙන් කලක පටන් පැවති ආරවුලක් මත පළමු වසරේ ඉගෙනුම ලබන අදාළ සිසුවාට මෙම පහරදීම සිදු කර ඇති අතර එය වැළැක්වීමට උත්සාහ කළ අදාල සිසුවා රැඳී සිටි නේවාසිකාගාරයේ භාරකරු ද සිසුන්ගේ පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කෙරිණි. එලෙස රෝහල්ගත කෙරුණේ 52 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය. සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය විසින් විමර්ශන පවත්වනු ලැබේ.