තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා - ඇමති

තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා - ඇමති

by Staff Writer . 23-05-2022 | 10:11 AM

COLOMBO (News 1st) –  තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී නොගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් පුද්ගලයින් ඉන්ධන එක්රැස් කර වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර වැඩි මිලට අලෙවිකරන බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි. එවැනි ජාවාරම් දිරිමත් නොකරන ලෙසත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර අඛණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් හල් වෙත ඉන්ධන නිකුත් කරමින් ඇති බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි. කෙසේ වෙතත් මේ වන විටත් දිවයිනේ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ. මේ අතර වෙල්ලාවලි ප්‍රදේශයේදී කැබ් රථයකින් නීති විරෝධීව පෙට්‍රල් තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ වෙල්ලාවලි නගරයේ පිහිටි මාර්ග බාධකය හරහා ගමන් කිරීමට පැමිණි කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී එහි බැරල් කිහිපයක තිබී බලපත්‍ර රහිතව, නීති විරෝධීව රැගෙන යමින් සිටි පෙට්‍රල් ලීටර් 850 ක් සමග අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 47 හා 41 යන වයස්වල පසුවන මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.