ගෑස් බෙදාහැරීම ගැන ජනතාව දැනුවත්කිරීමට පියවර ගන්න

දෛනිකව ගෑස් බෙදා හැරීම ගැන ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්න - කෝප් කමිටුවෙන් ලිට්‍රෝ සමාගමට නිර්දේශ

by Staff writer 21-05-2022 | 7:11 AM

COLOMBO (News 1st) – පවතින අර්බුදකාරී තත්ත්වය තුළ ගෑස් පෝලිම් විශාල වශයෙන් ඇති බැවින් දෛනිකව ගෑස් බෙදා හැරීම සිදුවන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නැයි කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට නිර්දේශ කර තිබේ.

ඒ, ඊයේ (20)ලිට්‍රෝ සමාගමේ කළමනාකාරීත්වය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී ය. කෝප් කමිටුව එහිදී ලිට්‍රෝ සමාගමට පෙන්වා දී ඇත්තේ, අදාළ තොරතුරු වෙබ් අඩවියේ සහ දුරකතන යෙදවුමක් මගින් පළ කිරීමට වහාම කටයුතු කරන ලෙසය. එමගින් අදාළ අලෙවි නියෝජිතයා හරහා දෛනිකව කොපමණ සිලින්ඩර ප්‍රමාණයක් යම් දිනකදී ලැබෙනවාද යන්න පාරිභෝගිකයාට නිශ්චිත වශයෙන් දැනගැනීමට හැකියාව ලැබෙන බැවින් ගෑස් සිලින්ඩර අපේක්ෂාවෙන් මහජනතාව දිගු පෝලිම්වල රැදී සිටිමින් සිදුවන අපහසුතාව මගහරවා ගත හැකි බවද කමිටුව පෙන්වා දී තිබේ. එසේම කෝප් කමිටුව ලිට්‍රෝ සමාගමට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ, දැනට පවතින ක්ෂණික ඇමතුම් අංකය වන 1311 වඩාත් කාර්යක්ෂම 24 පැය ක්‍රියාත්මක තොරතුරු ලබා දීමේ අංශයක් ලෙසට සංවර්ධනය කරන ලෙසය.