ණය තිරසර කරන්න G7න් සහය

ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයට සහය දෙනවා - ජී 7

by Staff writer 20-05-2022 | 7:39 PM

COLOMBO (News 1st) - ඇමති මණ්ඩලයට තවත් 9 දෙනෙකු අද එක්වෙද්දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා සහය දීමට ජාත්‍යන්තර පාර්ශ්ව ගණනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා විය.

ශ්‍රී ලංකාවට ණය සහන ලබාදීමේ ප්‍රයත්නයට සහය දෙන බව ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් 7 කණ්ඩායම හෙවත් G7 සංවිධානයේ මුදල් අමාත්‍යවරුන් ඊයේ(19) ජර්මනියේ පැවති රැස්වීමකදී තීරණය කර තිබුණි. ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 10 ක ස්වෛරී බැඳුම්කරවලට අදාළව ගෙවීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 78 ක් ඊයේ ගෙවීමට නොහැකිවීමත් සමග ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ තත්ත්වයකට පත්විය. ඒ සමග ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය නිවේදනය කළේ, ශ්‍රී ලංකාව සී තත්ත්වයේ සිය ආර්ඩී තත්ත්වය දක්වා පහත දැමූ බවයි. රිස්ට්‍රික්ටඩ් ඩිෆෝල්ට් හෙවත් ආර්.ඩී තත්ත්වය ලෙස සැලකෙන්නේ බංකොලොත්වීමට ආසන්න අවස්ථාවයි. නමුත් G7 කණ්ඩායමේ රටවල මූල්‍ය ප්‍රධානීන් ඊයේ ජර්මනියේදී රැස්වී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පැරිස් සමාජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව සහයදීමට තීරණය කර ඇත. අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, කැනඩාව, ඉතාලිය, ජපානය සහ නිලනොලත් මට්ටමින් යුරෝපා සංගමය G7 කණ්ඩායමට ඇතුළත් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF සඳහා වැඩිම දායකත්වයක් සපයන්නේ ලෝක ආර්ථිකයේ 50%කට වැඩි කොටසක් හිමි මේ කණ්ඩායමයි. ලෝකයේ විශාලතය ණය දෙන කණ්ඩායම ඇතුළත් පැරිස් සමාජය ආපසු ගෙවීම් අසීරු රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හා තිරසර කිරීමේ ක්‍රියාවළියට සම්බන්ධවන ප්‍රධාන පාර්ශවයකි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවළියට G7 කණ්ඩායම සහය ලබාදීම පැරිස් සමාජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේදී ශ්‍රී ලංකාවට ප්‍රබල පිටිවහලක් වනු ඇති. G7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීම අද අවසන්වීමට නියමිතව ඇති අතර ඉන් පසුව ඔවුන් නිශ්චිත වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.