ත්‍රිරෝද රථය වෙනුවට ඉන්ධන ටැංකියත් රැ⁣ගෙන එයි

රටපුරා ඉන්ධන පෝලිම්: ත්‍රිරෝද රථය වෙනුවට ඉන්ධන ටැංකියත් රැ⁣ගෙන එයි

by Staff writer 20-05-2022 | 7:35 PM

COLOMBO (News 1st) - රටපුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් අදත් දක්නට ලැබුණි.

අද උදෑසන මහනුවර නගරයේ කිසිදු පිරවුම්හලකින් ඉන්ධන නිකුත් කළේ නැත. පස්වරුවේ තොග ලැබී තිබුණේ එක් පිරවුම්හලකට පමණි. නමුත් ජනතාව දිගු පෝලිම්වල දිගටම රැඳී සිටියහ. ඇතැම් ත්‍රීරෝද රථ රියැදුරන් පිරවුම්හල්වලට පැමිණියේ, ත්‍රීරෝද රථය වෙනුවට ඉන්ධන ටැංකිය රැගෙනයි. අම්පාර නගරයේ පෙට්‍රල් නිකුත් කෙරුණේ IOC ඉන්ධන පිරවුම්හලේ පමණි. ප්‍රදේශයේ රාජ්‍ය සේවකයින්, වෙනත් පොලිමකින් තෙල් ලබා ගැනීමට උත්සාහ කිරීමත් සමග ඇතිවුණේ උණුසුම් තත්ත්වයකි. ගාල්ල කොටුව සමූපකාර පිරවුම්හළෙන් අද ඉන්ධන නිකුත් කෙරුණේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි. එහිදී යතුරුපැදිවලින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක්, පෝලිමෙන් පිට ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. මතු වූ විරෝධයත් සමග පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් යතුරුපැදි ඉවත් කර ගෙන තිබේ. කිරිබත්ගොඩ, දළුගම පිරවුම්හලකට කෑන්වලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසකට ද එහි සිටි පිරිසගෙන් මතු වූ විරෝධය හමුවේ ආපසු හැරී යාමට සිදු විය. කුරුණෑගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට පෙට්‍රල් ලැබුණේ අද පස්වරුවේදීය. අප වාර්තාකරු පැවසුවේ, අද අලුයම සිට ජනතාව පෝලිම්වල සිටි බවය. කුරුණෑගල නගරයේ පිහිටි IOC පිරවුම්හලට අද අලුයම ප්‍රෙටල් තොග ලැබී තිබුණි. මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC පිරවුම්හල්වලින් වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට අද (20) තීරණය කර තිබේ. එම සමාගම නිවේදනය කළේ, බූලි සහ බෝතල්වලට ඉන්ධන නිකුත් නොකරන බවයි.