අද වැඩ රා.සේවයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණයි

අද සේවයට වාර්තා කරන්නේ රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය නිලධාරීන් පමණයි..

by Staff Writer . 20-05-2022 | 8:01 AM

COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් ‍හැර සෙසු රජයේ නිලධාරීන් අද (20 ) සේවයට වාර්තා කිරීමට අවශ්‍ය නොවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

ඒ, අමාත්‍යාංශ ලේකම්, ජේ.ජේ. රත්නසිරි මහතා නිකුත් කළ චක්‍රලේඛයක් මගිනි. එහි දැක්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි මේ වනවිට රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි. කෙසේ වෙතත් මෙම තීරණයෙන් හදිසි හා අත්‍යවශ්‍ය රාජකාරී සඳහා නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් වන ආයතන ප්‍රධානියාගේ අභිමතයට බාධාවක් නොවිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ පාසල්වලට නිවාඩු ලබා දුන්නද සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරි සඳහා අනියුක්ත කළ නිලධාරීන් සේවයට වාර්තා කළ යුතු බවයි.