''ආණ්ඩුවක් විදිහට අපිට කනගාටුයි, ඒත් පෙට්‍රල් පෝලිමට එන්න එපා..'' - ඇමති කංචන

by Sagarika Chathumali 18-05-2022 | 11:07 AM

COLOMBO (News 1st) –  පෙට්‍රල් ලබා ගැනීම සඳහා අද (18) සහ හෙට (19) පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද පාර්ලිමේන්තුවේදී පෙට්‍රල් හිඟය පිළිබඳ කරුණු අවධාරණය කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පවතින සීමිත තොග සැපයෙන බවයි.
''පෙට්‍රල් පෝලිම්වල රැඳී සිටින්න එපා... අපි කනගාටුව පළ කරනවා.. ත්‍රිරෝද රථ දුවන්න වෙන්නෙ දෛනිකව ලැබෙන ඉන්ධනවලින්... ආණ්ඩුවක් හැටියට අපි ඒ පිළිබව කනගාටුව පළ කරනවා''
පිරවුම්හල් වෙත යළි පෙට්‍රල් බෙදා හැරීම අවසන් කිරීමට සිකුරාදා සිට අවම වශයෙන් දින 3 ක් ගතවනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේ ය. අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය මාර්තු මාසයේ සිට ඩොලර් ගෙවීමට නොහැකිව මෙරට මුහුදු සීමාවේ පෙට්‍රල් නෞකාවක් ඇති බවයි. මේ වනවිට ප්‍රමාණවත් ඩීසල් තොග ලැබී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ, අද සවස වනවිට සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් ලබා දෙන බවත් එතැන් සිට අඛණ්ඩව බෙදා හැරීම් සිදු කරන බවත් ය.