by Staff Writer . 17-05-2022 | 3:17 PM
COLOMBO (News 1st) – ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට දන්වා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මේ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස කතානායකවරයා දැනුවත් කළ බවයි.
ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රි අමල් සිල්වා සහ මොරටුව නගර සභා සේවකයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර මෙම පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන් , මන්ත්‍රවරුන් ඇතුළු විසි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ ලිඛිතව උපදෙස් ලබා දී ඇත.
අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර දේශපාලනඥයින්ට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සිටී.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයක් සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම ,සමාජ ක්‍රියාකාරිකයක් බව පවසන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ද මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර සිටිති.