නි. කතානායක තෝරා ගැනීමට ඡන්ද විමසීමක්

by Sagarika Chathumali 17-05-2022 | 10:54 AM

COLOMBO (News 1st) - නම් දෙකක් යෝජනා වීම හමුවේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කතානායකවරයා තීරණය කළේ ය.

ඒ අනුව මේ වනවිට ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී තිබේ. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා වූ නම් දෙක වූයේ, සමගි ජන බලවේගයේ රෝහිණි කවිරත්න මහත්මියගේ නම සහ පොදුජන පෙරමුණේ අජිත් රාජපක්ෂ මහතාගේ නමයි. රෝහිණි කවිරත්න මහත්මියගේ නම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කරනු  ලැබූ අතර අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරනු ලැබුවේ,  ජී.එල්. පීරිස් මහතා විසිනි. නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනාවීමත් සමග ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔවුන් කියා සිටියේ, ඡන්ද විමසීකදී මහජන මුදල් නාස්තියක් සිදුවන බැවින් පක්ෂ නායකයින් එක් රැස්වී තීන්දු කර නි. කතානායක ධුරය සඳහා එක් නමක් පමණක් යෝජනා කරන ලෙසයි. නම් දෙකක් යෝජනා වීමට විරෝධය පළ කරමින්  විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ, සිය පක්ෂය ඇතුළු පක්ෂ 10 නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දය කටු ගා දමන බවයි. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නැගී සිටිමින් පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඡන්ද පත්‍රිකාව කටු ගා දමන බවයි. මීට පෙරත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 02ක් යෝජනා වීම හමුවේ ඡන්ද විමසීමක් පැවති අතර ඉන් හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යළි තේරී පත් විය . පසුව රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා නැවත වරක් අස්වීම හමුවේ අද නැවතත් නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීමට සිදුව තිබේ. නි. කතානායක තනතුරට නම් දෙකක් යෝජනා වීමත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් - YouTube