O/L විභාගයේ උපකාරක පන්ති හෙටින් අවසන්

 O/L විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්..

by Staff writer 16-05-2022 | 7:12 AM

COLOMBO (NEWS1ST) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම හෙට(17) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ , යම් අයෙක් හෝ ආයතනයක් මෙම නියෝගය නොසලකා ක්‍රියාකරනු ලැබුවහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවයි. 2021 අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් භාගත කිරීමට ද පහසුකම් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ , ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණ යම් අයැදුම්කරුවෙක් ඇත්නම්, විභාග දෙපාර්තමේන්තුවේ WWW.DOENETS.LK වෙත පිවිස, එහි මුල් පිටුවේ, අපගේ සේවා යටතේ ඇති අපොස සාමාන්‍ය පෙළ 2021 විභාග ප්‍රවේශ පත්‍ර භාගත කිරීමේ අයිකනය තෝරාගෙන නිවැරදි ජාතික හැඳුනුම්පත් හෝ විභාගය අංකය ඇතුළත් කර විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් භාගත කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.