හිටපු ඇමතිවරු ඇතුළු 22ක් අත්අඩංගුවට ගන්නැයි උපදෙස්

හිටපු ඇමතිවරු,මන්ත්‍රීවරු ඇතුළු 22ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

by Staff Writer . 16-05-2022 | 8:11 PM

COLOMBO (News 1st) – සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි මයිනාගෝගමට හා ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධීන්වලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්, මන්ත්‍රවරුන් ඇතුළු විසි දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා, පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් ලබා දුන්නේ ය.

අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර දේශපාලනඥයින්ට අමතරව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද සිටී. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයක් සහ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම ,සමාජ ක්‍රියාකාරිකයෙක් බව පවසන ඩෑන් ප්‍රියසාද් නමැත්තා ද මෙම අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පිරිස අතර අයත් වෙති. නීතිපතිවරයා මෙම උපදෙස් ලබාදී සිදු කර ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් මෙතෙක් සිදුකළ විමර්ශනයන්හි උදෘත ඇතුළු සංෂිප්ත තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.