තෙල් බෙදන තුරු පෝලිමට එන්න එපා - ඇමති

තෙල් බෙදන තුරු පෝලිමට එන්න එපා - ඇමති

by Staff Writer . 16-05-2022 | 3:40 PM

COLOMBO (News 1st) –  දින 3 ක් යන තුරු පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටුවිටර් පණිවුඩයක් නිතුත් කරමින් පවසන්නේ ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත් එවා බෙදාහරින තෙක් පෝලිම්වලට නොපැමිණෙන ලෙසයි. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ටුවිටර් පනිවිඩයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ඊයේ ඩිසල් නැවක් පැමිණි බවත් ඉන්දියානු ණය ආධාර වැඩ සටහන යටතේ ඉදිරි සතිදෙක තුළ තවත් ඉන්ධන නැව් 3 ක් පැමිණිමට ද නියමිත බවයි. වෙසක් උත්සවය හේතුවෙන් ඊයේ දිනයේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු නොවුණ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් අද තෙල් බෙදාහැරිමේ කටයුතු ආරම්භ කළ ද ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කරන්නේ සීමා සහිතව බව සමස්ත ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැවසී ය. මේ අතර දිවයිනට පැමිණ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් තිස් හත් දහසක් අඩංගු නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි. ඖෂධ, ඉන්ධන, ගෑස්, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා දිවයින පුරා තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක් මගින් ඉන්ධන ලබාදීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් රුවන් චන්ද්‍ර මහතා පවසයි. ඔහු පැවසුවේ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ඉන්ධන ලබාදිය යුතු ලොරි රථ පිළිබඳ ලේඛයක් ඉන්ධන පිරවුම්හල් වෙත ලබාදිමට නියමිත බවයි.