ඉදිරි මාස කිහිපය සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කිරීමට සිදුවේවි - අගමැති

by Janitha Mendis 16-05-2022 | 7:45 PM

?

ඉදිරි මාස කිහිපය දුෂ්කරයි

?

මේ වනවිට පෙට්‍රල් ඇත්තේ දිනකට පමණයි

?

අලුත් අයවැයකින් නව වැඩපිළිවෙළක්

?

ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලිකකරණය කිරීමට යෝජනා

?

මාගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීමට නොවේ මුළු රටම බේරා ගැනීමටයි.- අගමැති

COLOMBO (News 1st) –  ඉදිරි මාස කිහිපය සියලු දෙනාටම ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදය ගත කිරීමට සිදුවනු ඇතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පස්වරුවේ  විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, සියලු දෙනාම ඊට කැපවීමෙන් මුහුණ දිය යුතු බවයි.
''මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට. මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි''
කෙසේ වෙතත් ඉදිරි මාස කිහිපයේදි මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය ලැබෙනු ඇතැයි, අපේක්ෂා කළ අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිටත් ඔවුන් ශ්‍රී ලංකාවට උදව් කිරීමට පොරොන්දු වී සිටින නමුත් ඒ සඳහා ගතවන මාස කිහිපය සියලු දෙනාට ඉවසීමෙන් දරාගැනීමට සිදු වන බවයි. තවද පවතින තත්ත්වයෙන් රටට ගොඩ යා හැකි බව ත් ඒ සඳහා  අලුත් මාර්ගයකට  ප්‍රවේශ වීමට සිදු වන බව ත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ වනවිට රට මුහුණදී සිටින බැරෑරුම් තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළේ ය.

ආර්ථික තත්ත්වය:- 

මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනක පවතින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළ ද මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක් බවයි.
''2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල් ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් 13% කි'' ''ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200 ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල් බිලියන 1250ක්''
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ,  2019 නොවැම්බර් මාසයේ දී රටේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබූ බවත් අද වනවිට භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
''ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ''

ඉන්ධන ගැටලුව:- 

ඉන්ධන ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ,  ඉදිරි දින කිහිපයේ දී පෝලිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක් පමණ සොයාගත යුතුව ඇති බවයි.
''මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි''
මේ අතර ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙළ යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිත බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා ඇති බවයි. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොළෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරමින් සිටින බව ද ඔහු පැවසී ය. තව ද , අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානක  බවයි. රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල් ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 294.50 පාඩු ලබන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නොමැති බවයි.

විදුලි  අර්බුදය :- 

විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා ඉන්ධන යොදා ගැනීම හමුවේ, තව ටික දිනකින් දෛනික විදුලි කප්පාදුව පැය 15ක් වීමටත් ඉඩ ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
''මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන ති‌යෙන්නෙ''
එමෙන්ම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා රුපියල් 17ක් අය කළ ද ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, එක ඒකකයකින් රුපියල් 30ක් පමණ පාඩුවක් ලැබීම බරපතළ ගැටලුවක් බවයි.

ගෑස් අර්බුදය :- 

රටේ ජනතාව මුහුණ දී සිටින ගෑස් අර්බූදය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේ ය. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුව ඇති බවයි.
''ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි''

ඖෂධ හිඟය:- 

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් මේ වන විට රට තුළ පවතින බවයි. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැතැයි,සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඔවුන්ට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 34ක් බවයි.
''ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා''.
තව ද අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්, ඉන් දෙකක්වත් සැපයීමට වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති වීම කනගාටුවට කරුණක් බව ත් අග්‍රාමාත්‍යවරයා පැවසී ය.
''එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ''
මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කර ඇතැයි, පැවසූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කිරීම සැලසුම බවයි. එමෙන්ම මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සේවය පුද්ගලීකකරණය කිරීමට ද අග්‍රාමාත්‍යවරයා යෝජනා කර සිටී.
''2020 - 2021වර්ෂයේ පමණක් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්. 2021මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි''
රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහා දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.
''ඒ කොහොම වුණත් මුදල් මුද්‍රණය කිරීම නිසා රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ''
මේ අතර දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව ඇති බව ද අග්‍රාමාත්‍යවරයා  සිය ප්‍රකාශයෙන්  කියා සිටියේ ය.
''එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල රාමුවක් තුළ පොදු කෙටි කාලීන - මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා''
තමන් මෙම අනතුරුදායක අභියෝගය භාර ගනු ලැබුවේ, රට වෙනුවෙන් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, තමාගේ කැපවීම සහ අරමුණ පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම සඳහා නොවන බවයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම, මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම සඳහා ජීවිතය පරදුවට තබා මෙම අභියෝගයට මූණ දෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ, අභියෝගය ජය ගැනීමට සහයෝගය ලබා දෙන ලෙසයි.