ධීවරයින්ට අනතුරු ඇඟවීම්...

රත්නපුර සුළු ගංවතුර මට්ටම ඉහළ යාමේ අවදානමක්: ධීවරයින්ටත් අනතුරු ඇඟවීම්

by Staff writer 14-05-2022 | 9:40 PM

COLOMBO (News 1st) - කළු ගඟේ රත්නපුර හා බුලත්සිංහල ආශ්‍රිත ප්‍රදේශවල සුළු ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

එහි ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී සුගීස්වර මහතා සඳහන් කළේ, අද රාත්‍රියේත් එම ප්‍රදේශවලට තද වැසි ඇදහැලෙන බවට අනාවැකි නිකුත් කර ඇති බවයි. මීට අමතරව අත්නගලු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තරගග, ආශ්‍රිතව ගංවතුර අවදානමකට ලක්ව ඇති ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටින ලෙස ද ඔහු ඉල්ලීමක් කළේ ය. මේ අතර පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 06 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, රත්නපුර, කළුතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතර යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 40-50 දක්වා තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවලට තද සුළං හා රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, කන්සකන්තුරේ සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 65 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බවය. එබැවින් එම මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් ඇතිවීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.