දිල්ලියේ මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 27ක් මරුට

දිල්ලියේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු මරුට..

by Chathurika Jayasundara 14-05-2022 | 8:00 AM

COLOMBO (News 1st) – ඉන්දියාවේ දිල්ලි නුවර මහල් 04කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද පොලීසිය සැක පළ කරන බවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ, මේ වනවිට ගොඩනැගිල්ලේ සම්පූර්ණ තට්ටුවක් තවමත් සෝදිසි කර නොමැති බැවිනි. 40 කට වැඩි පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, 70 පමණ පිරිසක් ගොඩනැගිල්ලෙන් මුදාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. ගින්න පාලනය සඳහා ගිනි නිවීමේ රථ 20 ක් ද යොදාගෙන තිබේ. මේ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජීවිතක්ෂයට පත් වූ පිරිසට සිය ශෝකය ප්‍රකාශ කරමින් හා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි. අගමැති මෝදි ප්‍රකාශ කර සිටියේ, ගින්නෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 2ක වන්දි මුදලක් ලබාදෙන බවත්, තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ලබා දෙන බවත් ය.