රනිල් අගමැති වන අලුත් ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්නේ නැහැ - ශ්‍රීලනිපය

by Sagarika Chathumali 13-05-2022 | 2:33 PM

COLOMBO (News 1st) –  නව ආණ්ඩුවේ කොටස්කරුවකු වීමට සූදානම් නැතැයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

''රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන රජයේ කිසිම ආකරයකින් අපි කොටස්කාරයෙක් වෙන්නෙ නැහැ''
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙලෙස සිය ස්ථාවරය රට හමුවේ තැබූයේ, අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ , අද පෙරවරුවේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී  දීර්ඝ ලෙස සාකච්ඡා කර පක්ෂය මෙම තීරණයට එළැඹි බවයි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමෙන් පසුව නිර්මාණය කරන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට එක්වීමට සහ ඒ සඳහා අවශ්‍ය රජයට සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා ලැබී ඇති බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, අමාත්‍ය ධූර හෝ තනතුරු ලබා ගෙන නව රජයේ කොටස්කරුවන් වීමට සිය පක්ෂය සූදානම් නොමැති බවයි.