රුසියානු යුද අපරාධ සොයන්න පරීක්ෂණයක්

යුක්‍රේනයට එරෙහි රුසියානු යුද අපරාධ සොයන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් පරීක්ෂණයක්

by Staff Writer . 13-05-2022 | 8:08 AM

COLOMBO (News 1st) - යුක්‍රේනයට එරෙහි රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් 33 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත. ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇති. රුසියානු ආක්‍රමණයට ලක්ව ඇති සිය රට යුරෝපා මහද්වීපයේ ප්‍රබලම මානව හිමිකම් කඩවීම අත්විඳින බව, යුක්‍රේන විදේශ අමාත්‍යවරයා සැසිවාරය අමතමින් සඳහන් කළේ ය. මේ අතර යුක්‍රේන යුද්ධයෙන් පුද්ගලයින් මිලියන 6 කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි. ඒ අතරින් පෝලන්තයට පළාගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 3.3 කි.