දේශබන්දුට පහර දීම: සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති දේශබන්දුට පහර දුන් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

by Staff Writer . 12-05-2022 | 8:29 PM

COLOMBO (News 1st) –  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ එම නඩුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි. සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධව අද පැවැත්වීමට නියමිත වූ හඳුනා ගැනීමේ පෙරට්ටුව ද ලබන 19 වැනිදා තෙක් කල් තැබිණ. අත්අඩංගුවේ පසු වන සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හා තෙවන සාක්ෂිකරු වන සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබා වෛද්‍ය උපදෙස් මත මේ වන විට විවේකව පසුවෙති. එසේ වුවද පළමු සාක්ෂිකරු රෝහලේ ප්‍රතිකාර ලබන බවට හෝ දෙවැනි තුන්වැනි සාක්ෂිකරුවන් රෝහලෙන් පිටව නික්ම ගොස් ඇති බවට සනාථ කිරීම සඳහා, කිසිම වෛද්‍ය වාර්තාවක් හෝ ලියවිල්ලක් පොලීසිය අද අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබිණ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ, මෙය සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් කිරීමේ අරමුණෙන් පොලීසිය කරන කූඨ උපක්‍රමයක් බවයි. බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පහර දීමේ සිද්ධිය දෙස් විදෙස් මාධ්‍ය හරහා සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරයවී ඇති අවස්ථාවක හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමෙන් ඵලක් නොවන බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. එබැවින් පෙරට්ටුව අවලංගු කර සැකකරුවන් ඇප මත මුදා හරින්නැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.