දේශබන්දුට තෙන්නකෝන්ට පහර දුන් දෙදෙනෙක් රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති දේශබන්දුට පහර දීම: සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

by Sagarika Chathumali 11-05-2022 | 1:47 PM

COLOMBO (News 1st) –  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීම සම්බන්ධයෙන් අත්සැඅඩංගුවට ගෙන සිටින සැකකරුවන්  දෙදෙනා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කළ අවස්ථාවේ හෙට (12) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහායි. කොල්ලුපිටිය පොලිසිය මෙම සැකකරුවන් ඉදිරිපත් කළේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලිනි පෙරේරා මහත්මිය හමුවටයි. මේ අතර පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. එම සැකකරු මහේස්ත්‍රාත්වරිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔහු සම්බන්ධව නියෝගයක් නිකුත් කිරීමට නියමිතයි. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ පෞද්ගලික සහායකයාට ඊයේ පස්වරුවේ පිරිසක් පහරදී තිබුණේ, අරලියගහ මන්දිරය ආසන්නයේදීයි. ඔහුගේ වාහනයට ද පිරිස පහරදී අලාභ හානි සිදුකර තිබූ අතර පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ඔහු ගමන්කළ මෝටර් රථය එම ස්ථානයෙන් මුදාගෙන තිබුණේ,ආරක්ෂක අංශ මැදිහත්වීමෙනි. පහරදීමෙන් තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුව රෝහල්ගත කෙරිණ.