රුසියානු ජනපතිගේ අලුත්ම සැලසුම

රුසියානු ජනපති දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අනාවරණයක්

by Staff writer 11-05-2022 | 7:52 AM

News 1st - රුසියානු ජනාධිපතිවරයා දීර්ඝ යුද්ධයකට අවතීර්ණ වෙමින් ඇති බවට අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කරයි.

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් නොනැවති රුසියාව තවදුරටත් යුක්‍රේන භූමිය අත්පත් කර ගැනීමට උත්සහ දරමින් ඇති බවට එම වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන්නේ උද්ධමනය, ආහාර හිඟය සහ බලශක්ති මිල ගණන් ඉහළ යමින් යුක්රේනයේ තත්ත්වය තවදුරටත් අයහපත් පසුබිමකට පත්වීමෙන් පසුව සිය ප්‍රහාරය දැඩි කිරීමට රුසියානු ජනාධිපතිවරයා සැලසුම් කර ඇති බවයි. මේ අතර යුක්‍රේනය සඳහා තවත් අතිරේක ඩොලර් බිලියන 40 ක ට ආසන්න සහන පැකේජයක් අනුමත කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මීට දින කිහිපයකට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්‍රේනය සඳහා අතිරේක ඩොලර් බිලියන 33 ක සහන පැකේජයක් අනුමත කරන්නැයි කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබූ බවයි. එම සහන පැකේජය ඩොලර් බිලියන 39.8 ක් දක්වා වැඩි කරමින් අනුමත කිරීමට අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පියවර ගෙන ඇත.