හිටපු අගමැති මහින්ද සහ පවුලේ අය පිටතට එවන්නැයි, කියමින් ජනතාව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවල

by Staff Writer . 10-05-2022 | 7:00 PM

COLOMBO (News 1st) –  ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ සිටින බව කියන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් වහා පිටතට එවන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිට අද ජනතාව රැස්වී විරෝධය පළ කළේ ය.

අද දහවල් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඉදිරිපිටට ජනතාව රැස්වුණේ, අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද අලුයම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මතයි. ත්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ ප්‍රධාන පිවිසුම ඉදිරපිට ජනතාව රැදී සිටිමින් විරෝධයේ නිතර වුණේ, අග්‍රාමාත්‍ය වරයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් වහා පිටතට එවන ලෙස බලකරමිනි. නාවික හමුදා කඳවුරේ ආරක්ෂාව දැඩි කර තිබූ අතර අප වාර්තාකරු සඳහන් කළේ, කඳවුරට මායිම් වන මුහුදු ප්‍රදේශයේ ද ආරක්ෂාව තර කර ඇති බවයි . අද අලුයම මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් පිටත්ව ගොස් තිබුණේ, අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වීමත් සමගයි. මේ අතර ජනතාව අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පිවිසෙන ප්‍රධාන මාර්ගය සියල්ලම අවහිර කළේ ය. ප්‍රධාන මාර්ගය සියල්ලම අවහිර කළ පිරිස ගුවන් තොටුපළට පැමිණෙන්නන් දැඩි සෝදිසියකට ලක්කළේ ය. මේ අතර රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇතුල්වන මාර්ගවල ද ජනතාව රැස්වී සිටිති. අප වාර්තාකරුවන් පැවසුවේ, ඔවුන් ගුවන්තොටුපළට ඇතුල්වන වාහන සෝදිසි කරමින් සිටින බවයි.