පොලිස්පති සහ යුදහමුදාපති මානව හිමිකම් කොමිසම හමුව

පොලිස්පති සහ යුද හමුදාපති මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

by Staff writer 10-05-2022 | 9:36 AM

COLOMBO (News 1st) :පොලිස්පතිවරයා හා යුද හමුදාපතිවරයා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සඳහන් කළේ, හෙට(11) පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇති බවයි. ජනතාවට සහ ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට හා නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මෙහිදී අදාළ නිලධාරින්ගෙන් කරුණු විමසීමට කටයුතු කරන බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ඇය පවසන්නේ, සෑම විටම නියමිත ක්‍රියාවලිය සහතික කර ප්‍රචණ්ඩත්වයට වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකළ යුතු බවයි. මේ අතර , රට තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට බුද්ධි අංශ ප්‍රධානි, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇති බවද එම කොමිසම සඳහන් කළේ ය.